වයිරසය අවතක්සේරු කළා



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය බිහිසුණු අයුරින් ඇමෙරිකාවේ පැතිර ගියේ තමන් වයිරසය අවතක්සේරු කළ නිසා යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ කියා ඇත්තේ, සී.එන්.එන්. පුවත් නාළිකාවේ මාධ්‍යවේදී බොබ් වුඞ්වර්ඞ් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් අතරතුරේදීය.

‘මා ඕනෑම දෙයක් ගැන ඕනෑවට වඩා හිතන්නේ නැහැ. කොරෝනා වයිරසය හිස උසවද්දී මා කටයුතු කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇමෙරිකන් වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුවයි. ජනතාව බිය ගැන්වීමට මට ඕනෑ වුණේ නැහැ. ඒ නිසාම මා වයිරසය අවතක්සේරු කළා.’ යැයි ජනපති ට්‍රම්ප්, වුඞ්වර්ඞ් සමඟ පැවැත් වූ එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ.

ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිතය. සිය දෙවැනි සහ අවසන් ධුර කාලය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ට්‍රම්ප් ඉදිරිපත් වෙයි. ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන්ය. ජනපති ට්‍රම්ප්ගේ ජය පැරැදුම තීරණය කරනු ඇත්තේ කොරෝනා වයිරසය යැයි ඇමෙරිකන් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

කොරෝනා වයිරසය ඇමෙරිකාවේ ව්‍යාප්ත වූයේ ට්‍රම්ප් පරිපාලනයේ නොසැලකිල්ල නිසා යැයි ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ චෝදනා නගති. වයිරස ව්‍යාප්තිය හේතුවෙන් සිදුවුණු ජීවිත හානි සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් වගකිව යුතු බවත්, ඒ සම්බන්ධයෙන් ට්‍රම්ප්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත් ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් පවසා තිබේ.
චීනයෙන් ඇරැඹුණු ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය බවට පත් වී ඇත්තේ ඇමෙරිකාවය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS