වඳුරු උණට එන්නත් වැඩසටහන් ඕනෑ නෑ



ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් ද ඇතුළු තවත් රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින 'වඳුරු උණ' හෙවත් 'වඳුරු පැපොල' වයිරසය සම්බන්ධයෙන්, මහා පරිමාණයේ එන්නත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

'කොව්ඩ් 19 වයිරස වසංගතය මෙන් නොවෙයි; වඳුරු උණ වයිරසය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර ගැනීම කළ යුතු නැහැ. මහා පරිපාණයෙන් එන්නත් ලබා දීමක් අවශ්‍ය වන්නේ ද නැහැ. වඳුරු උණ වයිරසය කිසිසේත් කොවිඩ් 19 වයිරසයට සමාන කරන්න බැහැ' යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'බෝවන රෝගවලට මුහුණ දීම සහ පිටුදැකීම' පිළිබඳ ස්‍රධානී සිල්වි බ්‍රියැන්ඩ් ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළාය.

ආසාදිතයන් හැකි ඉක්මනින් හඳුනා ගැනීම, ඔවුන් නිරෝධායනය කිරීම ආදී සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලින් පමණක් 'වඳුරු උණ' පාලනය කිරීම කළ හැකි යැයි සිල්වි බ්‍රියැන්ඩ් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

පසුගිය සති අන්තයේ මෙක්සිකෝවෙන් සහ අයිස්ලන්තයෙන් ද වඳුරු උණ ආසාදිතයන් වාර්තා විය. පසුගිය මැයි 13 වැනිදා සිට 24 දක්වා කාලයේ, ඇමෙරිකාව, කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය ඊශ්‍රායලය, ඕස්ට්‍රේලියාව ද ඇතුළු රටවල් 20 කින් ආසාදිතයන් 100 කට වඩා වාර්තා වී ඇත. මරණ කිසිවක් වාර්තා වන්නේ නැත. 

'වඳුරු උණ' එසේත් නැතිනම් 'වඳුරු පැපොල' ඇති කරන්නේ 'වඳුරු උණ' වයිරසයයි. 'වඳුරු උණ', 'ඔර්තපොක්ස්වයිරස්' වයිරස අතරින් එකකි. 'ඔර්තපොක්ස්වයිරස්' යනු 'පොකිස්විරාඩේ' වයිරස පවුලේ එක් සාමාජිකයෙකි. 'වරියෝලා' නමැති වයිරසය අයත් වන්නේ මෙම පවුලටය. වසූරිය ඇති කරන්නේ 'වරියෝලා' වයිරසයයි. වසූරිය සඳහාත් පැපොල සඳහාත් නිපදවා ඇති එන්නත්වලින් 'වඳුරු උණ' අඩපණ කළ හැකි බව විද්‍යාඥයන් පෙන්වා දී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS