ලෝක සෞඛ්‍ය සංවිධානය රැස්වෙයි



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී ලොව පුරා පැතිර යමින් පවතින නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (30) හදිසි හමුවක් පැවැත්වීය.

හදිසි හමුව පැවැත්වූයේ නව කොරෝනා වයිරසය ගෝලීය වසංගත තත්ත්වයක් ද නැද්ද යන්න තීරණය කිරීමේ අරමුණින්ය. වයිරසය ආසාදනය වී මියගිය ගණන මේ වනවිට 170 පසු කර ඇත. වයිරසය මේ වනවිට රටවල් 18 ක් පුරා පැතිර ගොස් අවසන්ය. කොරෝනා ආසාදිතයන් ගණන 7,783 තෙක් ඉහළ ගොස් ඇතැයි ද පැවැසෙයි.

ඊයේ (29) කොරෝනා වයිරස ආසාදිතයන් හමුවුණු බව ෆින්ලන්තය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය නිල වශයෙන් නිවේදනය කළේය. ජපාන සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කළේ චීනයට නොගියත්, චීන සංචාරකයන් පිරිසක් රැගෙන ගිය බස් රථ රියැදුරෙකුට කොරෝනා වැළඳී ඇති බවය. ඒ අනුව, චීනයෙන් පිට රටක කොරෝනා පැතිරුණු පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි.

ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර නැතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩොනොම් ගෙබ්‍රයිසිස් චීනයේ බීජිං අගනුවරට ගොස් චීන ජනාධිපති ෂී ජින්පින් සහ චීන සෞඛ්‍ය බලධාරීන් හමුවිය.

වයිරසයට ප්‍රතිකර්මයක් සෙවීම සම්බන්ධයෙන් චීන වෛද්‍ය පර්යේෂකයන්ට සහාය ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ කන්ඩායමක් ද චීනයට යවා ඇතැයි පැවැසෙයි.

නව කොරෝනා වයිරසයේ ජාන ව්‍යුහය හඳුනාගෙන ඇති බැවින්, කඩිනමින් ප්‍රතිකර්මයක් සොයා ගැනීමට හැකිවනු ඇතැයි චීන වෛද්‍ය පර්යේෂකයන් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

ජිනීවාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS