ලුකර්ෂෙක්කෝට යළිත් විශිෂ්ට ජනවරමක්

බෙලරූස් ජනාධිපතිවරණයේ ප්රතිඵල නිකුත් වූ අතර, වසර 25 කට ආසන්න කාලයක් තිස්සේ බලයේ රැඳී සිටින ඇලෙක්සැන්ඩර් ලුකර්ෂෙන්කෝට යළි ජනවරමක් හිමිවිය.
ජනපතිවරණයේ ප්රතිඵල පිළිගැනීමට නොහැකි බව චෝදනා කරමින් සහ ජනාධිපතිවරණය සාධාරණ අයුරින් පවත්වා නොමැති බවට චෝදනා කරමින්, බෙලරූස් නිදහස් පක්ෂ විපක්ෂ ක්රියාකාරීහු මින්ස් අගනුවරට රැස්වී විරෝධතා පවත්වන්න වූහ.
විරෝධතාකරුවන් කලහකාරීව හැසිරෙද්දී, ඔවුන් මර්දනයට කැරැලි මර්දන පොලිසිය යෙදවිණි. ඔවුහු විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්රහාර එල්ල කළහ. 100 කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැණින.
බෙලරූස් මැතිවරණ කොමිසම ප්රකාශ කළේ, ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකර්ෂෙන්කෝ සියයට 80 කට වැඩි ඡන්ද ප්රතිශතයක් හිමිකරගෙන ඇති බවය. එය කිසිසේත් පිළිගත නොහැකි බවටත්, අක්රමිකතා රැසක් සිදුවී ඇති බවටත් නිදහස් පක්ෂ ක්රියාකාරීහු චෝදනා නගති.
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් කීප දෙනකු ඉදිරිපත් වී සිටියත්, කැපී පෙනුනේ විපක්ෂ ක්රියාකාරියකු වන සියර්හි ටිකානෝව්ස්කාගේ බිරිය ස්වෙත්ලානා ටිකානෝව්ස්කා ය. ඇය බෙලරූසයේ ප්රධාන විපක්ෂ අපේක්ෂිකාව වූවාය. ස්වෙත්ලානා ටිකානෝව්ස්කා ට හිමිවූයේ සියයට 7 ක ඡන්ද ප්රතිශතයක් පමණි. ස්වෙත්ලානා ටිකානෝව්ස්කා තරයේ පවසා ඇත්තේ තමන් එම ප්රතිඵලය කිසිසේත් පිළි නොගන්නා බවය.

37 හැවිරිදි ස්වෙත්ලානා ටිකානෝව්ස්කා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ඇගේ සැමියා වෙනුවෙනි. ස්වෙත්ලානාගේ සැමියා බන්ධනාගාරගතනර සිටී. ඒ, විපක්ෂ රැලිවලට නායකත්වය දෙන බවටත් රට අස්ථාවර කරන බවටත් එල්ල වුණු චෝදනා හේතුවෙනි. සැමියා බන්ධනාගාරගත කෙරුණු විට ස්වෙත්ලානා ඔහුගේ තැන ගනිමින් විපක්ෂ දේශපාලන කණ්ඩායම් මෙහෙයවූවාය. ස්වෙත්ලානා ටිකානෝව්ස්කා ගුරුවරියක සස මවකි.
ස්වෙත්ලානා ටිකානෝව්ස්කා ට අමතරව තවත් අපේක්ෂකයෝ තිදෙනෙක් මෙවර බෙලරූස් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූහ. බෙලරූසය අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් විය. බෙලරූසය යන්නෙහි අර්ථය‘සුදු රුසියාව’ යන්නය. බෙලරූසය අයත් වන්නේ නැගෙනහිර යුරෝපයටය. මින්ස් බෙලරූසයේ අගනුවර වෙයි. බෙලරූසය රුසියාවට, යුක්රේනයට, පෝලන්තයට, ලිතුවේනියාවට, ලැට්වේනියාවට මායිම් වී පිහිටයි. බෙලරූසයේ ජනගහනය මිලියන 9.485 කි. භාවිතා වන මුදල් ඒකකය බෙලරුසියන් රූබල් ය.
යුරෝපයේ අවසන් ‘ඒකාධිපතියා’ යනුවෙන් ද ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකර්ෂෙන්කෝ හැඳින්වෙයි. 65 හැවිරිදි ඇලෙක්සැන්ඩර් ලුකර්ෂෙන්කෝ බෙලරූසයේ ජනපති ධුරය හොබවන්නේ 1994 වසරේ සිටය. මීට පෙර බෙලරූසයේ ජනාධිපතිවරණයක් පැවැත්වූයේ 2015 දීය. එම ජනාධිපතිවරණයෙන් සියයට 83.5 ක ඡන්ද ප්රතිශතයක් හිමිකර ගැනීමට ලුකර්ෂෙන්කෝ සමත් විය.
මින්ස් නුවරදීය (රොයිටර්)

