ලක්ෂ 19කට ඉන්දීය පුරවැසිභාවය නෑ



ඉන්දියාවේ ඊසානදිග ඇසෑම් ප්‍රාන්තයේ ජාතික පුරවැසි ලේඛනය ප්‍රසිද්ධියට පත් කෙරුණු අතර, ප්‍රාන්තයේ පදිංචි ලක්ෂ 19 ක ගේ නම් එම ලේඛනයට ඇතුළත් නොවන බව පැවැසෙයි.

ඉන්දීය පුරවැසිභාවය නොමැති එම ලක්ෂ 19 ක පිරිස ‘විදේශිකයන්’ ලෙස නම් කරනු ලැබ ඇති බව ද පැවැසෙයි.

1971 වසරේ මාර්තු 24 වැනිදා බංග්ලාදේශය නිර්මාණය වෙද්දී, ලක්ෂ ගණනින් ඉන්දියාවට සංක්‍රමණය වී ඇසෑමයේ පදිංචි වූහ.

එසේ පදිංචි වූවන්  අනවසර සංක්‍රමණිකයන් ලෙස ලෙස සැලකෙන අතර මොවුන් ඉන්දියාවේ පුරවැසිභාවය ද බලා ගෙන නැත. ජාතික පුරවැසි ලැයිස්තුවට ඇතුළත් නොවන ලක්ෂ 19 දෙනා ද ඇතුළත් වන්නේ මෙම ලැයිස්තුවටය.

ඒ අනුව, 1971 වසරේ සිට මේ දක්වා ඇසෑමයේ පදිංචිව සිටින එම ලක්ෂ 19 දෙනාගේ අනාගතය අවිනිශ්චිත යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඇසෑම් ප්‍රාන්ත බලධාරීන් පමණක් නොව, ඉන්දීය මධ්‍යම රජය ද සහතිකයක් ලබා දී ඇත්තේ එම අනවසර සංක්‍රමණිකයන්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන අයුරින් කටයුතු කරන බවය.

අභියාචන ක්‍රියාවලියක් ද මේ වනවිට ආරම්භ වී ඇති බවත් ඒ සඳහා දින 60 සිට 120 කාලයක් ලබා දී, ඇසෑමය පුරා විශේෂ අධිකරණ පිහිටුවා ඇති බවත් ඉන්දීය රජය පවසා ඇත.

ඇසෑමයේ පුරවැසි ලැයිස්තුය මෙසේ යවත්කාලීන කිරීම සිදුවූයේ අධිකරණ නියෝගයකට අනුවය. අධිකරණ නියෝගයට හේතුවක් වූයේ බංග්ලාදේශයෙන් පැමිණි අනවසර සංක්‍රමණිකයන් ඇසෑමයේ තම ඉඩම් අල්ලාගෙන සිටිනවා යැයි ඇසෑමයේ මුල් පදිංචිකරුවන්ගෙන් එල්ල වුණු පැමිණිලි හේතුවෙනි.

ඇසෑමයේ නීතිවිරෝධී සංක්‍රමණිකයන් ඉවත් කිරීමට පියවර ගන්නා බව ඉන්දීය අගමැති මෝදිගේ ඡන්ද පොරොන්දුවක් වෙයි. කෙසේ නමුත් මෙය ඉන්දීය ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේත් මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවලත් විරෝධයට හේතුවක් වී ඇත.

ලක්නව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS