ලංකාවට එරෙහිව ජිනීවා යෝජනවා සම්මත වෙයි

ජීනිවා මානව හිමිකම් කවුසිලියේ 46 වැනි සැසිවාරය සදහා බ්‍රිතාන්‍යය ප්රමුඛ රටවල් හයක් ඒකාබද්ධව ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව අද (23) වැඩි ඡන්ද 11 කින් සම්මත විය.
ඒ අනුව එම යෝජනාවට පක්ෂව රටවල් 22 ක් ද , තවත් රටවල් 11ක් විරුද්ධව ද ඡන්දය ප්‍රකාශ කළ අතර එසේම ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව සම්බනධව රටවල් 14 ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටියහ.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය මැයෙන් බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝ සහ මලාවි යන රටවල් ඒකාබද්ධව ඉදිරිපත් කළ මෙම යෝජනාවට පක්ෂව (ශ්‍රී ලංකාවට විරුද්ධව) ආර්ජන්ටිනාව , ආර්මේනියාව , ඔස්ට්‍රියාව , බහමාස් ,බ්‍රසීලය , බල්ගේරියාව, අයිවරි කෝස්ට්, චෙක් ජනරජය , ඩෙන්මාර්කය , ෆීජි දූපත් , ප්‍රංශය , ජර්මනිය ,ඉතාලිය , මලාවි , මාෂල් දූපත් , මෙක්සිකෝව, නෙදර්ලන්තය , පෝලන්තය, දකුණු කොරියාව , යුක්රේනය , බ්‍රිතාන්‍යය සහ උරුගුවේ යන රටවල් 22 ඡන්දය භාවිත කළහ.
එම යෝජනාවට විරැද්ධව ( ශ්‍රී ලංකාවට පක්ෂව ) බංග්ලාදේශය , බොලිවියාව ,චීනය , කියුබාව , එරිත්‍රියාව , පකිස්ථානය , පිලිපීනය , රුසියාව , සෝමාලියාව , උස්බෙකිස්ථානය සහ වෙනිසියුලාව යන රටවල් 11 ඡන්දය භාවිත කළහ.
එසේම යෝජනාව සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටි රටවල් 14 වනුයේ බහරේනය, බුර්කිනා ෆාසෝ, කැමරූන් , ගැබෝන්, ඉන්දියාව , ඉන්දුනීසියාව, ජපානය, ලිබියාව, මොරිටානියාව, නැමීබියාව, නේපාලය , සෙනගල් , සූඩාන් සහ ටොගෝ රටවල්ය.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම මෙරට වේලාවෙන් අද (23) පස්වරු 3.30 ට ආරම්භ වූ අතර එහිදී ප්‍රථමයෙන් එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන්නාවු යෝජනාව සම්බන්ධයෙන් කෙටි අදහස් දැක්වීය.
ඉන් අනතුරුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 සාමාජිකයන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන එම යෝජනාවට පක්ෂ විපක්ෂව කෙටි අදහස් දැක්වූහ.
අදාළ යෝජනාව පිළිබද අදහස් දැක්වූ ඉන්දීයාවේ නියෝජිතවරයා කියා සිටියේ ඉතා ඉක්මණින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම , 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරිම ශ්‍රී ලංකාව විසින් කටයුතු කළ යුතු බවය.
චීනය, රුසියාව සහ පිලිපීනය නියෝජිතයෝ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ඉවත් කර ගන්නැයි කවුන්සිලය හමුවේ අදහස් දක්වමින් කියා සිටියහ.
සාමාජික රටවල් හි නියෝජිතයින් 47 දෙනා පැයකට ආසන්න කාලයක් වල අදහස් දැක්වීමෙන් අනතුරුව යෝජනාව පිළිබද ඡන්ද විමසීම ආරම්භ විණි.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර එම යෝජනාව පිලිබද ඡන්ද විමසීම පැවති අන්තර්ජාලය ඔස්සේ විද්‍යුත් ක්‍රමවේදයකට අනුව වීම විශේෂත්වයක් විණි.
එම යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ඊට විරුද්ධව රටවල් 11 ක් සිය ඡන්දය ප්‍රකාශ කළේය.තවත් රටවල් 14ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් මෙවර 46 සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද වාර්තාවක් මීට පෙර ඉදිරිපත් කරනු ලැබීය.එම වාර්තාව අනුව මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් යුද අපරාධ විමර්ශනය, වත්කම් අත්හිටුවීම, සංචාර තහනම ඇතුලු සම්බාධක නිර්දේශ කරනු ලැබීය.
එමෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය තුළ විශ්‍රාමික හමුදා නිලධාරීන් නිරත කරවීම, 19 සංශෝධනය වැනි ව්‍යවස්ථාමය ආරක්ෂණ විධිවිධාන ඉවත් කරනු ලැබීම, කෝවිඩ්-19 වසංගතයෙන් මියගිය පුද්ගලයින් ආදාහනය කිරීම් ද මානව හිමිකම් සීමා කිරීමක් ලෙස මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව මඟින් හදුනාගෙන ඇති බවද එහි සඳහන් විය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී, මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගියදා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 25 වැනිදා රටවල් 38 ක නියෝජිතයින් සිය රටවල නිල ස්ථාවරය පැහැදිලි කළේය.
එහිදී එක්සත් රාජධානිය, ප්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදය, නොර්වේ රාජ්‍යය,කැනඩාව, ස්විට්සර්ලන්තය, බෙල්ජියම, නෙදර්ලන්තය, අයර්ලන්තය, ඇතුළු රටවල් 15ක් මහ කොමසාරිස්වරියගේ වාර්තාවට පක්ෂව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය විවේචනය කරමින් එහිදී අදහස් දැක්වූහ.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පුරා මාසයක් තිස්සේ පැවති ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 සැසිවාරය ද අද (23) අවසන් විය.

