රුසියා චීන සබඳතා ශක්තිමත් වෙයි



රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට තමන්ට හැකිවුණු බවත්, එම සාකච්ඡා හරහා චීන රුසියා සබඳතා නව මානයකට යොමු වුණු බවත් චීන ජනාධිපති ෂී ජින් පින් පැවැසීය.

චින ජනාධිපතිවරයා තෙදින චීන සංචාරයක් ආරම්භ කරමින් රුසියාවේ මොස්කව් අගනුවර බලා පැමිණියේ ය. රුසියානු රජයෙන් චීන ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

ජනපතිවරු දෙදෙනා සාකච්ඡා පවත්වා නව වෙළෙඳ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබූහ. ඉන්පසු මාධ්‍යවේදීන් හමුවේ පෙනී සිටිමින්, ජනපති පුටින් සහ ෂී ජින්පින් අවධාරණය කළේ රුසියා චීන මිත්‍රත්වය ක්‍රමෝපායික සබඳතාවක් බවත් එය මෙම සංචාරයේදී තවත් ශක්තිමත් වුණු බවත්ය.

‘පසුගිය සය වසරක කාලයේ මම සහ රුසියානු ජනාධිපති පුටින් අවස්ථා 30 කදී පමණ හමුවුණා. මම වැඩියෙන්ම විදේශ සංචාරවල නියැලුණා නම් ඒ රුසියාවට. ජනපති පුටින් මගේ ගජ මිතුරෙක්’ යැයි චීන ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ පුටින් සහ ඔහු අතර පවතින සුවිශේෂී මිත්‍රත්වය පැහැදිලි කිරීමට පවා අමතක නොකළේය.

මිතුදම් වර්ධනය කර ගනිමින් තව තවත් රුසියාවට සමීප වීමට චීන ජනාධිපති ෂී ජින්පින් කටයුතු කරන්නේ, ඇමෙරිකාවත් චීනයත් අතර අර්බුදයක් පවතිද්දීය.

චීනය ඇමෙරිකාවේ වෙළෙඳපොළ පමණක් නොව ජගත් වෙළෙඳපොළත් ආක්‍රමණය කර ඇති බවට ඇමෙරිකාව චෝදනා කරයි. මේ හේතුව නිසා, චීනය ඇමෙරිකාවටත් ඇමෙරිකාව පෙරළා චීනයටත් තීරු බදු පැනැවීමක් කර තිබේ.

මොස්කව්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS