රුසියාව යුක්රේන ආක්‍රමණය ආරම්භ කළා



රුසියාව යුක්රේනය ආක්‍රමණය ආරම්භ කර ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මෙසේ පැවැසුවේ, යුක්රේනයේ රුසියානු සම්භවයක් වෙසෙන, රුසියාවේ සහාය සහ අනුග්‍රහය ලබන යුක්රේන බෙදුම්වාදීන්ගේ පාලනයේ පවතින ඩොනෙස්ක්ස් සහ ලුහන්ස්ක් පළාත්වලට රුසියානු ජනාධිපති පුටින් හමුදා යැවීමත් සමගය.

රුසියන් ජනාධිපති පුටින් ගත් එම තීරණය හෙලා දකිමින්, ඇමෙරිකන් ජනාධිපති බයිඩන් වැඩි දුරටත් කියා සිටියේ රුසියව ජාත්‍යන්තර නීති උල්ලංඝනය කර ඇති බවය.
ඒ අනුව, රුසියාව ‘මට්ටු’ කිරීමේ අරමුණින්, රුසියාවට නව ආර්ථික සම්බාධක මාලාවක් පැනැවීමට පියවර ගන්නා බවද ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රුසියානු බැංකු, ව්‍යාපාරික ආයතන සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ඉලක්ක කර ගනිමින් එම සම්බාධක පැනැවීම සිදුවනු ඇති බව ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පැහැදිලි කර තිබේ.

රුසියාව ආර්ථිකමය වශයෙන් දුර්වල කිරීම මෙසේ සම්බාධක පැනැවීමේ අරමුණ වනු ඇති බව  ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත.

ඇමෙරිකාව පමණක් නොව, රුසියාවට විරෝධය දක්වන, බටහිර යුරෝපා රටවල් සියල්ල ද මේවනවිට රුසියාවට එරෙහිව සම්බාධක පනවීමට කටයුතු කර ඇත. එසේ සම්බාධක පැනැවූ යුරෝපා රටවල් අතර ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය සහ ජර්මනිය සිටී.

කැනඩාව ද යුක්රේනයට සහාය පළ කරමින් රුසියාවට සම්බාධක පැනැවීමක් කර ඇති බවත්, යුක්රේන හමුදාව ශක්තිමත් කිරීමට සෙබළුන් යැවීමට තීරණය කළ බවත් පවසා තිබේ.

මේ අතර යුක්රේනයේ විරෝධය මැද රුසියාව සහ ජර්මනිය අතරේ මෙම වසර අවසානයේ ආරම්භ කිරීමට නියමිත ‘නොර්ඩ් ස්ට්‍රීම් 2’ ස්වාභාවික වායු නළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අනුමැතිය අත්හිටුවීමට ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂෝල්ස් තීරණය කර ඇත.

රුසියාව සහ යුක්රේනය අතර අර්බුදය සාමකාමී ලෙස විසඳා ගැනීමට මැදහත්කරු ලෙස කටයුතු කරන ප්‍රංශ ජනාපධිති මැක්රොන් රුසියන් ජනාධිපති පුටින්ගේ තීරණය සම්බන්ධයෙන් දැඩි කලකිරීමෙන් පසුවන බව ද වාර්තා වේ.

ඩොනෙස්ක්ස් සහ ලුහන්ස්ක් නගර ද ඇතුළත් ඩොනෙස්ක්ස් සහ ලුහන්ස්ක් පළාත් දෙක පමණක් නොව ඒ අවට ඇති සෙසු පළාත් ද පොදුවේ හැඳින්වෙන්නේ ‘ඩොන්බාස්’ යනුවෙනි.  ඩොනෙස්ක්ස් සහ ලුහන්ස්ක් නගරවලට අමතරව ​‘ඩොන්බාස්’ පළාතේ තවත් නගර 7 ක් ඇත. එම නගර සහ ඒවා අයත් පළාත් ඇත්තේ යුක්රේන රජයේ පාලනය යටතේය.

එම නගර සහ පළාත්වල රුසියානු හිතවාදී යුක්රේන බෙදුම්වාදීහු නැත. ඩොනෙස්ක්ස් සහ ලුහන්ස්ක් බලා යැවුණු රැසියන් හමුදා යුක්රේන හමුදා සමග සටන් කරමින් එම නගර ද අල්ලා ගනු ඇතැයි බිය පළ කෙරේ.

2014 වසරේ යුක්රේනයට අයත් ක්‍රිමියා අර්ධද්වීපය, රුසියාව විසින් අත්පත් කරගත් අවස්ථාවේ සිට ඩොනෙස්ක්ස් සහ ලුහන්ස්ක් පළාත් රුසියාවට පක්ෂපාති ආකාරයට කටයුතු කළේය. රුසියාව 2014 දී ක්‍රිමියා අර්ධද්වීපය අත්පත් කර ගත්තේ ක්‍රිමියා පළාතේ සිටින යුක්රේන බෙදුම්වාදී සටන්කාමීන්ගේ ද සහාය ඇතිවය.

ඩොනෙස්ක්ස් සහ ලුහන්ස්ක් යන පළාත් ස්වාධීන ජනරජ ලෙස නම් කිරීමට තමන් ප්‍රමාද වූ බවත්, තමන් එසේ කළ යුතුව තිබුණේ මීට වසර කීපයකට පෙර බවත් රුසියන් ජනාපධිති පුටින් පසුගිය 21 වැනිදා ජාතිය අමතමින් පැවැසීය.

රුසියන් සෙබළුන්, යුද ටැංකි ආදිය ‘ඩොන්බාස්’ පළාතට පැමිණියේ ඉන් අනතුරුවය. එම අවස්ථාවේදී ජනාධිපති පුටින් පෙන්වා දී දුන්නේ එම හමුදා සාම සාධක බළඇණියක් පමණක් බවය. ඇමෙරිකාව පෙන්වා දී ඇත්තේ එය එසේ නොවන බවත්, රුසියාව යුක්රේන ආක්‍රමණය ආරම්භ කළ බවත්ය.

රුසියන් ජනාධිපති පුටින් යුක්රේනයට රුසියන් හමුදා සෙබළුන් යැවීම කළේ, රුසියාවෙන් පිට විදේශයකට රුසියන් සෙබළුන් යැවීමට රුසියන් පාර්ලිමේන්තුවේ (දූමා සභාව) ඉහළ මන්ත්‍රී මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබා දීමෙන් අනතුරුවය. ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සෙනෙට් සභිකයන් 153 දෙනා ඒකමතිකව ඒ සඳහා අනුමැතිය දුන් බව වාර්තා වේ.

රුසියාව සහ යුක්රේනය මුල්කොට ගනිමින් අර්බුදයක් නිර්මාණය වූයේ යුක්රේනය ‘නේටෝ’ හිතවාදී රාජ්‍යයක් වීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ බැවිනි. රුසියා ජනාධිපති පුටින්, ඩොනෙස්ක්ස් සහ ලුහන්ස්ක් යන පළාත් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමට කටයුතු කිරීම ‘නේටෝ’ සංවිධානයේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ. ඇමෙරිකාව ‘නේටෝ’ සංවිධානයේ ප්‍රබලතම සාමාජිකයාය.

රුසියාව ආර්ථිකමය වශයෙන් අඩපණ කිරීමට පියවර ගන්නා බවත්, ආර්ථික සම්බාධක පනවන්නේ එහි පළමු පියවර වශයෙන් බවත්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් වැඩිදුරටත් පැහැදිලිකර තිබේ.

රුසියන් ජනාධිපති පුටින් යුක්රේනයේ ඩොනෙස්ක්ස් සහ ලුහන්ස්ක් යන පළාත් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීම සහ එම පළාත්වලට හමුදාව යැවීම යුක්රේනයේ ජාතික ආරත්ෂාවට තර්ජනයක් බවත්, එය යුක්රේනයේ ස්වෛරීත්වයට හානියක් බවත් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS