රුසියාවේ වත්කම් යුක්රේනයට



බටහිර රටවල් විසින් අත්හිටුවනු ලැබූ විදේශවල ඇති රුසියන් වත්කම්, ඇමෙරිකන් ඩොලර් මිලියන 50 ක්, ණය මුදලක් ලෙස යුක්රේනයට ලබා දීමට ඉතාලියේ පැවැත්වෙන ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවේදී එකඟත්වයක් ඇති කර ගැනුණි. 

‘ජී7’ නායකයන්, ඇමෙරිකන් ඩොලර් මිලියන 50 ක මෙම ණය මුදල යුක්රේනයට ලබා දෙන්නේ, යුද ආධාර වශයෙනි. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ, යුක්රේනය උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා සිටි බැවිනි. ‘නේටෝ’ යනු රුසියාවෙන් එල්ල වන තර්ජනවලට එරෙහිව ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර රටවල් පිහිටුවාගත් යුද සන්ධානයයි.

‘ජී7’ කණ්ඩායමට අයත් රටවල් බොහොමයක් ‘නේටෝ’ සාමාජිකයන් ද වෙයි. ‘ජී7’ යනු ඇමෙරිකාව, කැනඩාව, ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය සහ ජපානයේ එකමුතුවය. අතීතයේ ‘ජී7’ හැඳින්වූයේ ‘ජී8’ ලෙසය. ඒ රුසියාව ද මෙම කණ්ඩායමේ සාමාජිකයකු වූ බැවිනි.

කෙසේ නමුත් යුක්රේනය සම්බන්ධ අර්බුද හේතුවෙන් රුසියාව කණ්ඩායමෙන් නෙරපා දැමීම සිදුවිය. ඒ අනුව, ‘ජී8’ කණ්ඩායම ‘ජී7’ බවට පත් විය.

රුසියාවේ එම හමුදා ක්‍රියාමාර්ගයට බටහිර රටවල් විරෝධය දැක්වූයේ විදේශවල ඇති රුසියන් රජයේ වත්කම් අත්හිටුවමිනි. යුක්රේනයට ණයකත් ලෙස ලබා දෙන්නේ එසේ අත්හිටවූ වත්කම්ය. හම ණය මුදල යුක්රේන රජයට හිමිවනු ඇත්තේ මෙම වසර අවසානයේය.

‘යුක්රේන යුද්ධයේ දී අප කිසිම අවස්ථාවක යුක්රේනය අමතක කර නැහැ. රුසියාවට බය වී අප කිසිම අවස්ථාවක පසුබසින්නේ නැහැ.’ යැයි ‘ජී7’ සමුළුවට සහභාගී වන ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැහැදිලි කර තිබේ.

ඉතාලියේ පැවැත්වෙන ‘ජී7’ සමුළුවට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද සහභාගී වෙයි. ‘ජී7’ නායකයන් සහ සෙලෙන්ස්කී අතරේ වෙන වෙනම සාකච්ඡා පැවැත්වුණු බව ද පැවැසෙයි.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, වසර 10 ක කාලයක් සඳහා යුක්රේනය සමඟ ආරක්ෂක ගිවිසුමකට ද අත්සන් කළේය. කෙසේ නමුත් යුක්රේනය වෙනුවෙන් රුසියාව සමඟ සටන් වැදීමට කිසිම විටම ඇමෙරිකන් සොල්දාදුවන් යවන්නේ නැතැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඇමෙරිකාවට අමතරව ජපානය ද යුක්රේනය සමඟ වසර 10 ක ආරක්ෂක ගිවිසුමකනට අත්සන් කළ බව පැවැසෙයි. ජපන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සහ යුක්රේන ජනාධිපති අතරේ ද විශේෂ හමුවක් පැවැත්විණි.

මේ අතර, රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියාවට විරෝධය පළ කරමින්, අත්හිටවූ රුසියානු වත්කම් යොදාගෙන ඒවා, යුක්රේනයට ණය මුදලක් ලබා දීමට ‘ජී7’ රටවල නායකයන් ඒකමතිකව තීරණය කිරීම, රුසියාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

රුසියන් රජය වෙනුවෙන්, එරට විදේශ කටයුතු අමත්‍යාංශයේ, ප්‍රකාශිකා මාරියා සකරෝවා, මාධ්‍ය හමුවක් කැඳවමින් අනතුරු ඇඟවූයේ, ‘ජී7’ නායකයන් ගත් මෙම තීරණය, යුරෝපා සංගමයට ‘වේදනාකාරී’ ප්‍රතිඵල උදා කරනු ඇති බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS