රුසියාවට යළිත් සම්බාධක
රුසියාවේ ආර්ථික කටයුතු අඩපණ කිරීමේ අරමුණින්, ඇමෙරිකාව යළිත් වරක් රුසියාවට සම්බාධක පැනැවීමට සූදානම් වෙයි.
මෙවර සම්බාධක පැනැවීම සිදු වන්නේ රුසියාවේ බැංකු පද්ධතිය ඉලක්ක කර ගනිමින් යැයි ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දී තිබේ.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අකමැති වුවත්, ඇමෙරිකා කොංග්රස් මණ්ඩලයේ අනුමැතිය පරිදි රුසියාවට එරෙහිව ඇමෙරිකාව සම්බාධක පනවන දෙවැනි අවස්ථාව මෙය වනු ඇත.
රුසියාව සහ ඇමෙරිකාව අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ, රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ මෙහෙයවීමෙන්, 2016 වසරේ පැවැත්වුණු ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට රුසියානු පරිගණක හැකර්වරුන් මැදිහත් වීම හේතුවෙනි.
රුසියානු ජනාධිපති පුටින් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන නමුත් ඇමෙරිකාවේ එෆ්.බී.අයි. කාර්යාංශය එම චෝදනා ඔප්පු කර ඇත. ලබන නොවැම්බරයේ ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණ කටයුතු පැවැත්වෙයි. ඊට රුසියාව මැදිහත් වීම වැළැක්වීමේ අරමුණින් තවත් සම්බාධක පැනැවීමට ද ඇමෙරිකාව සූදානම් වන බව පැවැසෙයි.
(රොයිටර්ස්)

