රුසියානුවන්ට කොරෝනා වළක්වන එන්නත



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය වැළැක්වීමට රුසියන් විද්‍යාඥයන් විසින් නිර්මාණය කරනු ලැබ ඇති ‘ස්පුට්නික් 5’ එන්නත ලබන සඳුඳා (7) සිට රුසියානුවන්ට ලබා දෙන්නැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් නියෝග කර තිබේ.

ඒ අනුව, ලබන 7 වැනිදා සිට රුසියාවේ මහා පරිමාණයෙන් එන්නත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කෙරෙන අතර, පළමු අදියර යටතේ එන්නත ලබා දීම වෛද්‍යවරුන්ට, රෝහල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට සහ සෞඛ්‍ය අංශ සෙසු නිලධාරීන්ට ලබා දීම සිදුවෙයි. එන්නත ලබාදීම සිදුවන්නේ නොමිලේය.

මේ වනවිට ‘ස්පුට්නික් 5’ එන්නතේ මාත්‍රා මිලියන 2 ක් නිපදවා ඇති බවත් පළමු අදියර යටතේ එම එන්නත් ලබා දීම සිදුවන බවත් රුසියන් ජනාධිපති පුටින් පවසා ඇත. එන්නත් ලබා දෙන්නැයි  ජනාධිපති පුටින් නියෝගය කළේ, ඇමැති මණ්ඩල හමුවක් පවත්වමිනි. කොවිඞ් 19 වයිරස වසංගතය හේතුවෙන් ඇමැති මණ්ඩල හමුව පැවැත්වීම සිදුවූයේ වීඩියෝ පණිවුඩ හුවමාරු ඔස්සේය.

‘කොවිඞ් 19’ වයිරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය ඇති කිරීමට නිපදවූ පළමුවෙන් සාර්ථක එන්නත ‘ස්පුට්නික් 5’ යැයි රුසියාව කියයි. ලොව පළමුවෙන් ලියාපදිංචි කළ කොරෝනා වළක්වන එන්නත වන්නේ ද මෙයයි. මෙය ‘ස්පුට්නික්’ යනුවෙන් නම් කර ඇත්තේ ලොව පළමු චන්ද්‍රිකාව ලෙස සෝවියට් සමූහාණ්ඩුය පෘථිවි කක්ෂයට යැවූ ස්පුට්නික් 1’ චන්ද්‍රිකාව සිහි ගන්වමිනි.

‘ස්පුට්නික් 5’ ලෙස නම් කළත් එන්නත නිල වශයෙන් හැඳින්වෙන්නේ ‘ගැම්-කොවිඞ්-වැක්’ යන නමිනි. එන්නත නිපදවා ඇත්තේ රුසියාවේ ‘ගැම්ලේයා’ වසංගත පාලන, ක්ෂුද්‍ර ජීව විද්‍යා ආයතනයයි. එන්නත නිපදවීම සිදුවූයේ රුසියන් සෞඛ්‍ය අමත්‍යාංශයේ මැදිහත් වීමෙනි. ‘ස්පුට්නික් 5’ එළිදැක්වීම සිදුවූයේ පසුගිය අගෝස්තු 11 වැනිදාය. රුසියන් වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිවීමෙන් පසු අගෝස්තු 28 වැනිදා එය ලියාපදිංචි කෙරුණු බව රුසියන් මාධ්‍ය වාර්තා සිහිපත් කරයි.

සායනික පර්යේෂණ සිදුවෙද්දී පවා එන්නත ජනාවට ලබාදීමට රුසියානු රජය සහ සෞඛ්‍ය අමත්‍යාංශය පියවර ගත්තේ ගත්තේ, ‘කොවිඞ් 19’ ආසාදිතයන් සහ මරණ පාලනය කර ගැනීමට නොහැකි ලෙස ඉහළ යද්දීය. තෙවැනි අදියරේ අවසන් සායනික පර්යේෂණ යටතේ එන්නත 40,000 කට ලබා දුන් බව ‘ගැම්ලේයා’ ආයතනය පෙන්වා දී තිබේ. එම 40,000 ගේ සිරුරේ වයිරසයට එරෙහිව ප්‍රතිශක්තියක් නිර්මාණය වූ බවත්, අතුරු ආබාධ හෝ සංකූලතා හෝ ඇති නොවුණු බවත් ‘ගැම්ලේයා’ වෛද්‍ය පර්යේෂකයෝ තහවුරු කරති.

මීට අමතරව, ‘ස්පුට්නික් 5’ එන්නත සම්බන්ධයෙන් සිදු කළ පළමු, දෙවැනි සායනික පර්යේෂණ වාර්තා ප්‍රතිඵල සහ තෙවැනි වටයේ පළමු අදියරේ සායනික පර්යේෂණ වාර්තා ප්‍රතිඵල රුසියානු සෞඛ්‍ය අමත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබා දී ඇත. ඒ, ඊට අනුමැතිය ලබා ගැනීම සහ ලොව සෙසු රටවලට එන්නත විකිණීමේ අරමුණින්ය. කෙසේ නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානය, ‘ස්පුට්නික් 5’ කෙරෙහි වැඩි උනන්දුවක් නොදක්වන බව රුසියන් ජනාධිපති පුටින් පවසා තිබේ.

ඊට හේතුව, එම එන්නත විශ්වාසය තැබිය නොහැකි අනාරක්ෂිත එකක් නිසා ද නැතිනස් බටහිර ඖෂධ සමාගම් නිපදවන එන්නත් විකුණමින් එම සමාගම්වලට ලාබ ඉපැයීමට වැඩි අවස්ථාවක් උදා කර දීමට අවශ්‍ය වී ඇති නිසා ද යන්න ප්‍රශ්නාර්ථයක් යැයි ජනාධිපති පුටින් විමසයි. රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ බටහිර එන්නත්වලට වඩා රුසියන් එන්නත අඩු මිලකට ලබා දීමට හැකි බවත්, බටහිර එන්නත් සේම රුසියන් එන්නත කෙරෙහිද විශ්වාසය තැබිය හැකි බවත්ය.

මේ වනවිට, ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහිව, ‘ස්පුට්නික් 5’ එන්නත ද ඇතුළත්ව තවත් එන්නත් හතරක් නිපදවා තිබේ. එයින් දෙකක් ඇමෙරිකානු එන්නත් වන අතර, චීනය සහ බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලය අනෙක් එන්නත් නිපදවා ඇත. මෙම එන්නත් සියල්ල තෙවැනි අදියරේ පළමු වටයේ සායනික පර්යේෂණ සාර්ථකව අවසන් කර ඇති බැවින්, ඒවා වයිරසයට එරෙහිව ලබා ගැනීමට සුදුසු බව පැවැසෙයි. කෙසේ නමුත් මෙම කිසිදු එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියක් තවම ලැබී නැත.

මොස්කව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS