රුසියන් විදෙස් ඇමැති මානව හිමිකම් සමුළුව අමතයි

රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිය ඇමැතූ අවස්ථාවේදී, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින්, රටවල් රැසක විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් 100 කට වැඩි පිරිසක් නැගිට ගිය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඇමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය, මහා බ්‍රිතාන්‍යය, ජපානය ආදී රටවල නියෝජිතයන් රුසියන් විදේශ ඇමැතිවරයාට විරෝධය පළ කරමින් මෙසේ නැගිට ගිය බව ද පැවැසෙයි.
මේ අතර, රුසියන් විදේශ ඇමැතිවරයා කතාවට සවන් දී අසුන් ගෙන සිටි විදෙස් නියෝජිතයන් අතර සිරියානු, චීන සහ වෙනිසියුලා නියෝජිතයන් සිටි බව ද වාර්තා වේ.
රුසියන් විදේශ ඇමැතිවරයා සිය දේශනය ආරම්භ කළ අවස්ථාවේදී පළමුවෙන් නැගිට ගියේ යුක්රේනය නියෝජනය කරන එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය යෙහෙන්යා ෆිලිපෙන්කෝය.
සෙසු විදෙස් නියෝජිතයන් ඇයට සහාය දක්වමින් නැගිට ගිය බව පැවැසෙයි.
යුක්රේන වැසියන් වෙනුවෙන් මෙසේ රුසියාවට විරෝධය දැක්වීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ෆිලිපෙන්කෝ එම නියෝජිතයන්ට ස්තුති කිරීමට ද අමතක නොකළාය.
(රොයිටර්)

