රුසියන් වැසියන්ට එන්නත් ලැබේ



රුසියාව සිය ‘කොවිඩ්-19’ එන්නත් වැඩසටහන ආරම්භ කරමින් මොස්කව් නුවර පිහිටි සායනවලට එන්නත බෙදාහැරීම ආරම්භ කර ඇත.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතයෙන් වැඩිම අවදානමක් ඇති පුද්ගලයන්ම මුලින්ම එන්නත ලබාදෙන බවත් ඒ අනුව මොස්කව් අගනුවර පිහිටි සායන 70කට එන්නත බෙදාහරින බවත් එම නුවර කොරෝනා වයිරස කාර්යසාධක බලකාය අද නිවේදනය කළේය.

රුසියාව මෙලෙස එරට ජනතාවට එන්නත් කිරීමට සූදානම් වන්නේ එරට වෛද්‍ය පර්යේෂණ විද්‍යායතනය වන ගැමලෙයා ආයතනයේ විද්‍යාඥයන් අත්හදා බලමින් සංවර්ධනය කළ ‘ස්පුට්නික් 5’ එන්නත යි.

රුසියාවේ ‘ස්පුට්නික්-5’ කොවිඩ්-19 එන්නතට පසුගිය අගෝස්තු මාසයේදී එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය හිමි විය.

සිය එන්නත සියයට 95ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි ද එසේ වුවත් තවදුරටත් මහ පරිමාණයෙන් අත්හදා බැලීම් කරන බවත් රුසියානු පර්යේෂකයෝ පවසති.

‘කොවිඩ්-19’ එන්නත ලබාගැනීම සඳහා සෙනසුරාදා වනවිට දහස් ගණනක් රුසියානුවන් ලියාපදිංචි වී සිටි නමුත් රුසියාවට කොතරම් එන්නත් මාත්‍රා ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි ද තවමත් නිශ්චිතව නිවේදනය කර නොමැත.

දැනට නිකුත් ව ඇති වාර්තාවලට අනුව මේ වසර අවසන් වනවිට එන්නත් මාත්‍රා මිලියන දෙකක් නිෂ්පාදනය කිරීමට රුසියානු නිෂ්පාදකයෝ බලාපොරොත්තු වෙති.

මොස්කව් නුවර සිටින මිලියන 13ක ජනගහනයෙන් මුලින්ම එන්නත ලැබෙන්නේ සෞඛ්‍ය සේවයේ, සමාජ සේවයේ සහ පාසල්වල සේවය කරන රුසියානුවන්ට බව එනුවර නගරාධිපති සර්ගේ සොබියානින් මේ සතිය මුලදී පැවැසීය.

‘කොවිඩ්-19’ එන්නත ලබාගැනීම සඳහා ඉහත සඳහන් කළ රැකියා අංශවල සිටින වයස අවුරුදු 18ත් 60ත් අතර රුසියානුවන්ට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමට අවස්ථාව සලසා තිබූ අතර ඔවුන්ට එන්නත් ලබාගැනීම මොස්කව් අගනුවර සායන 70ක් සූදානම් කර තිබේ.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS