යුද ගිනි මැද මගුල් කෑම

මීට දින 20 කට පෙර ලෙස්යා ඉවැෂ්චෙන්කෝ සහ වැලෙරි ෆිලිමෝනෝව් තරුණ යුවළ යුක්රේනයේ කීව් අගනුවර වාසය කළ සාමාන්‍ය යුවළක් වූහ.
දෙදෙනා වසර 20 ක් තිස්සේ එකට ජීවත් වන අතර, ඔවුන්ට 18 හැවිරිදි දියණියක් ද සිටී. ඒත් ඔවුන්ගේ ජීවිත උඩු යටිකුරු වූයේ රුසියන් ආක්‍රමණය හමුවේය. රුසියන් හමුදා උතුරින් පිහිටි බෙලරූසයෙන් යුක්රේනයට ඇතුළු වී, චර්නෝබිල් හරහා පැමිණ කීව් අගනුවර වට කළේය.
අවි දැරිය හැකි සෑම කෙනකුට රුසියන් හමුදාවට එරෙහි සටන් වැදිය යුතු යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී කළ ඉල්ලීමට කන් දෙමින් ලෙස්යා ඉවැෂ්චෙන්කෝ සහ වැලෙරි ෆිලිමෝනෝව් ද යුද පෙරමුණට ගියේ, ඔවුන්ගේ නව යොවුන් දියණිය ආරක්ෂිත ස්ථානයකට යැවීමෙන් අනතුරුවය.
පසුගිය 6 වැනිදා යුවළ විවාහ වීමට තීරණය කළ අතර අවි ගත් යුක්රේන සොල්දාදුවන් මැද එළිමහනේ හමුදා දේවගැතිවරයකු ඉදිරියේය.
'අප මේ විදියට අපේ විවාහ මංගල උත්සවය පවත්වන්න තීරණය කර තිබුණේ නැහැ. ඒත් දැන් අපේ ජීවිත කොයිවේලාවේ අවසන් වේවිදැයි කියන්න අමාරුයි. ඒනිසා අප විවාහ වෙන්න තීරණය කළා' යැයි යුවළ පවසා ඇත.
ආරක්ෂිත ස්ථානයක සිටින දියණිය වීඩියෝ තාක්ෂණයෙන් එම අවස්ථාවට සම්බන්ධ කරවා ගැණුනු බව ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් වාර්තා කර තිබේ. ලෙස්යා ඉවැෂ්චෙන්කෝ සහ වැලෙරි ෆිලිමෝනෝව්ගේ 'යුද පිටියේ මංගල්‍යය' සමාජ මාධ්‍ය ඔස්සේ ද ජනප්‍රිය විය.
(වොෂින්ටන් පෝස්ට්)

