යුද්ධය නවත්වන්න පුටින්ගෙන් කොන්දේසි 6 ක්



යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් යුක්රේනයට කොන්දේසි 6 ක් ඉදිරිපත් කර ඇත.

යුක්රේනය එම කොන්දේසි 6 ට එකඟ වන්නේ නම්, තමන් යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය වහා නවතා දමන බව ද රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර තිබේ.

ජනාධිපති පුටින් ඉදිරිපත් කළ කොන්දේසි 6 අතරින් පළමු වැන්න වන්නේ, යුක්රේනය නේටෝ රාජ්‍යයක් නොවී, අපක්ෂපාතී රාජ්‍යයක් ලෙස කටයුතු කළ යුතුය යන්නය.

දෙවැන්න, 2014 වසරේ දී රුසියාව විසින් බලයෙන් අල්ලා ගත් යුක්රේනයට අයත් ක්‍රිමියා අර්ධද්වීපය රුසියාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස පිළිගත යුතුය.

යුක්රේනයේ ඩොන්බාස් පළාතේ ඩොනෙස්ක් සහ ලූහාන්ස්ක් ජනරජ සමූහාණ්ඩු ස්වාධීන රාජ්‍යයන් ලෙස යුක්රේනය පිළිගත යුතුය යන්න තෙවැනි කොන්දේසියයි.

පුටින්ගේ සිවුවැනි කොන්දේසිය වන්නේ යුක්රේනය සතු (නේටෝවට අයත් බටහිර රටවලින් ද ලැබුණු) රුසියාවට තර්ජනයක් විය හැකි සියලු අවි ආයුද අත්හැරිය යුතුය යන්නය.

පස්වැනි කොන්දේසිය වන්නේ යුක්රේනය ‘නාසිවාදයෙන්’ තොර විය යුතුය යන්නය. පුටින් මෙයින් අදහස් කරන්නේ, යුක්රේන රජයේ ජාතිවාදී අදහස් සහ ප්‍රතිපත්ති යැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති. යුක්රේන ව්‍යවස්ථාව ජාතිකවාදී අදහස් බැහැර කළ යුතු යැයි රුසියන් ජනාධිපති පුටින් මෙම පස්වැනි කොන්දේසියෙන් වැඩි දුරටත් ඉල්ලා තිබේ.

රුසියන් ජනාධිපති පුටින්ගේ හය වැනි මෙන්ම අවසන් කොන්දේසිය ද වන්නේ රුසියන් බස යුක්රේනයේ දෙවැනි නිල භාෂාව විය යුතුය යන්නය. යුක්රේන බස යුක්රේනයේ නිල භාෂාව වන නමුත්, වැඩි දෙනෙක් රුසියන් බස කතා කරති. එසේ වුවත් රුසියන් බසට නිසි පිළිගැනීමක් යුක්රේනයේ නොමැති යැයි ජනාධිපති පුටින් පවසා තිබේ.

යුක්රේනය අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් කොටසක් විය. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ රජය, රුසියාවට එරෙහිව යමින් නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට ළං වීම හේතුවෙන් රුසියන් ජනාධිපතිවරයා යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේය. ඒ පසුගිය පෙබරවාරි 24 වැනිදාය.

යුද ගැටුම් හේතුවෙන් මේ වනවිට යුක්රේන වැසියන් 780 දෙනකු මියගොස් ඇති බවත් 1,252 දෙනකු තුවාල ලබා ඇති බවත් පැවැසෙයි. ගැටුම් හේතුවෙන් යුක්රේනයෙන් පලා ගිය යුක්රේන සිවිල් වැසියන් ගණන ලක්ෂ 34 කි.

මේ අතර ඇමෙරිකාව චෝදනා කරන්නේ රුසියාව යුද අපරාධ සිදු කරන බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුද අපරාධකාරයකු බවත්ය. රුසියන් හමුදාව රෝහල් සහ පාසල් ද ඉලක්ක කර ගනිමින් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන බව ද පැවැසෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ රුසියන් හමුදා එල්ල කළ ප්‍රහාරවලින් යුක්රේනයේ රෝහල් 43 ක් මුළුමනින්ම විනාශ වී ඇති බවය.

(රොයිටර්)


RECOMMEND POSTS