යුක්රේන හිතවාදීන්ට පුටින්ගේ සහාය



යුක්රේනයට අයත්, යුක්රේන පාලනය ප්‍රතික්ෂේප කරන, රුසියානු හිතවාදී පළාත්, ස්වාධීන රාජ්‍ය ලෙස පිළිගන්නා බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජාතිය අමතමින් පැවැසීය.

යුක්රේනයේ රුසියන් හිතවාදී බෙදුම්වාදීන්ට අයත් පළාත් ලෙස සැලකෙන්නේ රුසියන් දේශසීමාවට යාබදව පිහිටි ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් යන පළාත්ය. මෙම පළාත්, රාජ්‍යයන් ලෙස රුසියාව නිල වශයෙන් පිළිගත් පළමු අවස්ථාව මෙයයි.

‘මා මේ තීරණය ගැනීම කළ යුතුව තිබුණේ අද නොවෙයි, මීට වසර කීපයකට පෙරයි. ඩොනෙස්ක් ජනතා ජනරජ සහ ලුහාන්ස්ක් ජනතා ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගැනීමට මා වහාම තීරණය කළා.’ යැයි රුසියන් ජනාධිපති පුටින්, රුසියානු ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් පැහැදිලි කළේය.

ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් යුක්රේන පාලනය ප්‍රතික්ෂේප කරමින් රුසියාවට සහාය පළ කරන්නේ 2014 වසරේ සිටය. 2014 දී රුසියාව, මේ අයුරින්ම යුක්රේන පාලනය ප්‍රතික්ෂේප කළ යුක්රේනයට අයත් ක්‍රිමියා අර්ධද්වීපය ආක්‍රමණය කළේය. ඒ, ක්‍රිමියා අර්ධද්වීපයේ රුසියන් හිතවාදී සන්නද්ධ බෙදුම්වාදීන්ගේ සහාය ඇතිවය. අදත් ක්‍රිමියා අර්ධද්වීපය රුසියාවට අයත් කොටසක් ලෙස සැලකෙයි.

2014 වසරේ සිට මේ දක්වා ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් පළාත්වලට රුසියාව නිල නොවන මට්ටමින් මූල්යු ආධාර ලබා දෙමින් සිටී. බෙදුම්වාදී සටන්කාමීන්ට අවි ආයුධ ලබා දෙන්නේ ද රුසියාව බව රහසක් නොවෙයි. ඩොනෙස්ක් සහ ලුහන්ස්ක් යන පළාත් ස්වාධීන රාජ්‍යයන් ලෙස නිල වශයෙන් පිළිගැනීමත් සමඟ නිල වශයෙන් එම පළාත්වලට ආධාර ලබා දීම රුසියාවට කළ හැකිය.

ඩොනෙස්ක් සහ ලුහාන්ස්ක් බෙදුම්වාදීන් යුක්රේන හමුදා සමඟ යුද වදින්නේ නම්, රුසියාව ඔවුන්ට සහාය ලබා දෙනු ඇත. රුසියාව යුක්රේනය අක්‍රමණය නොකරනු ඇති බවත් ක්‍රිමියා අර්ධද්වීපය රුසියාවට එක් කර ගත් ආකාරයට ඩොනෙස්ක් සහ ලුහාන්ස් ද රුසියාවට එක් කර ගනු ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)


RECOMMEND POSTS