යුක්රේනය තනි කරන්නේ නෑ - බයිඩන්



රුසියන් ආක්‍රමණය හමුවේ, යුක්රේනය තනි නොකරන බවට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට ප්‍රතිඥා දුන්නේය.

රුසියන් ආක්‍රමණය වසර ගණනක් දිග් ගැස්සුණත්, ඇමෙරිකාව යුක්රේන රජයට ලබා දෙන සහාය අඩු නොකරන බවට ද යුක්රේන ජනාධිපතිවරයා හමුවෙමින් බයිඩන් පැහැදිලි කළේය.

මෙය යුක්රේන ජනාධිපතිවරයාගේ මහත් සතුටට හේතුවක් විය. කෙසේ නමුත් බයිඩන් යුක්රේනයට පැමිණීම සම්බන්ධයෙන් රුසියාව විරෝධය පළ කර තිබේ.

ඇමෙරිකන් ජනාධිපතිවරයා යුක්රේනයට පැමිණීම රුසියන් යුක්රේන යුද්ධය ලෝක යුද්ධයක් දක්වාත්, පසුව න්‍යෂ්ටික යුද්ධයක් දක්වාත් ඔඩුදුවනු ඇතැයි විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් ඇමෙරිකාවේ සිට පෝලන්තයට පැමිණ, පෝලන්තයේ සිට කීව් අගනුවර බලා පැමිණියේය. පෝලන්තය යුක්රේනයේ අසල්වැසියකු වන අතර, පෝලන්තය ‘නේටෝ’ සාමාජිකයෙකි.

රුසියාව, යුක්රේනයට එරෙමිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ යුක්රේනය ද ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. ’නේටෝ’ යනු රුසියාවට එරෙහිව පිහිටුවා ගත් යුද සන්ධානයයි.

ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයේ කීව් අගනුවරට පැමිණෙන බව දැන සිටියේ ඔහුගේ සමීපතම ආරක්ෂක අංශ ප්‍රධානීන් පමණි. මෙම ගමන සඳහා බයිඩන් යොදා ගෙන ඇත්තේ ‘එයාර් ෆෝස් 1’ නිල යානය නොව, ‘එයාර් ෆෝස් බෝයිං 757’ එසේත් නැතිනම් ‘සී32’ නමැති කුඩා ගුවන් යානය බව මාධ්‍ය පවසයි.

බයිඩන් සමඟ විශේෂ ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක්, මාධ්‍යවේදීන් දෙදෙනකු සහ වෛද්‍ය කණ්ඩායමක් යුක්රේන ගමනට සහභාගී වූ බව ධවල මන්දිරය මේ වනවිට අනාවරණය කර තිබේ.

බයිඩන් ඇතුළු සියලු දෙනා යුක්රේන ගමන රහසක් ලෙස තබා ගත් බව ද පැවැසෙයි. පෙර දැනුම් දීමකින් තොරව බයිඩන් යුක්රේනයට ආ බව ධවල මන්දිරය අනාවරණය කළේ බයිඩන් සහ යුක්රේන ජනාධිපති හමුවීමෙන් ද පසුවය.

(රොයිටර්)


RECOMMEND POSTS