මෝදි පැය 45 ක් තිස්සේ උපවාසයේ



ඉන්දීය මහ මැතිවරණයේ 7 වැනි සහ අවසන් අදියර ඊයේ (1) ආරම්භ වෙද්දී, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැය 45 ක්, භාවනායෝගීව උපවාසයක නියැළුණේය. 

අග්‍රාමාත්‍යවරයා භාවනායෝගීව සිටියේ, දකුණු ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ, කන්‍යාකුමාරි පූජා භූමියේ, විවේකානන්ද ස්මාරකයේ පිහිටි කෝවිලේය. කන්‍යාකුමාරි පූජා භූමියේ, විවේකානන්ද ස්මාරකය සහ කෝවිල, හින්දු බැතිමතුන්ගේ පූජණීය ස්ථානයකි. හින්දු දේව පුරාණයට අනුව, පාර්වතී, ශිව දෙවියන් වෙනුවෙන්, තනි කකුලෙන් සිටගෙන පූජාවක් පැවැත්වූයේ ද මෙම ස්ථානයේය.

අග්‍රාමාත්‍ය මෝදි පසුගිය 30 වැනිදා කන්‍යාකුමාරි බලා පැමිණියේ සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු නිමා කරමිනි. ඉන්පසු ඔහු භාවනායෝගීව සිය පූජාව ආරම්භ කළේය. එය අවසන් වූයේ ඊයේ (1) ඉන්දීය මැතිවරණයේ අවසන් අදියර ආරම්භ වීමත් සමඟය.
අග්‍රාමාත්‍ය මෝදි, මැතිවරණ පැවැත්වෙන කාලයේ, ජන රැලි 75 කටත්, රිය පෙරහර ඇතුළු මැතිවරණ ප්‍රචාරක වැඩසටහන් 206 කටත් සහභාගී විය. මාධ්‍ය ආයතන සහ වෙබ් මාධ්‍ය සේවා සඳහා සම්මුඛ සාකච්ඡා 80 ක් පැවැත්වීය.

සෑම මහ මැතිවරණයක් අවසානයේදීම, මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කිරීමෙන් පසු මෝදි, ඉන්දියාවේ ප්‍රසිද්ධ හින්දු කෝවිලකට ගොස් භාවනායෝගීව, පූජාවක් පැවැත්වීම සිදු කරයි. 

2014 මහ මැතිවරණයෙන් පසු ඔහු ශිවාජි බලකොටුව අයත් කෝවිලට ගියේය. මෝදි පළමුවෙන් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2014 වසරේදීය. 2019 මහ මැතිවරණයේදී, මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කළ මෝදි, කෙදර්නාත් පුදබිමේ කෝවිලට ගොස් පූජාවක් පැවැත්වීය.

ලොක් සභාවට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ අරමුණ ඇතිව, ඉන්දීය මහ මැතිවරණය ආරම්භ වූයේ අප්‍රේල් 19 වැනිදාය. අදියර 7 ක් තිස්සේ පැවැති මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම, ලබන 4 වැනිදා සිදුවනු ඇත.

අවසන් අදියරේ දී ආසන 57 ක් වෙනුවෙන් මැතිවරණ පැවැත්වෙන අතර, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ වරණාසි ආසනය ද ඒ අතර වෙයි. වරණාසි යනු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආසනයයි. 2014 වසරේ සිට වරණාසි ආසනයේ බලය තහවුරු කරගෙන සිටින්නේ මෝදිය.

 (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS