මෝදිගේ පදවිප්‍රාප්තිය හෙට



භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානය විශිෂ්ට ජයග්‍රහණයක් කරා මෙහෙයවූ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පදවිප්‍රාප්තිය හෙට (30) සිදුවෙයි.

තවත් පස් වසරක් සඳහා මෝදි ප්‍රමුඛ ඔහුගේ ඇමැති මණ්ඩලය දිවුරුම් දෙන්නේ, නවදිල්ලියේ රාජ්පාත්හි පිහිටි ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවස වන රාෂ්ට්‍රපතිභවන්හි පැවැත්වෙන විශේෂ උත්සවයකදීය.

දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන්නේ විශේෂ ආරක්ෂාවක් යටතේය. ජනපති නිල නිවසට ඉහළින් ගුවන් කලාපය තහනම් කලාපයක් ලෙස නම් කෙරෙනු ඇත.

මෝදි සහ ඔහුගේ ඇමැති මණ්ඩලය දිවුරුම් දීම සිදුවන්නේ ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් ඉදිරියේය. උත්සවය සවස 7 ට ආරම්භ වෙයි.

අදියර 7 ක් යටතේ අප්‍රේල් 11 වැනිදා සිට මැයි 19 වැනිදා තෙක් ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය හෙවත් ලෝක්සභා මැතිවරණය පැවැත්විණි. ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවූයේ පසුගිය 23 දාය.

මෝදි ප්‍රමුඛ ඔහුගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයට ආසන 300 කට වැඩි ප්‍රමාණයක් දිනා ගැනීමට හැකියාව ලැබුණි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS