මෝදිගෙන් පුටින්ට උපදෙසක්



දෙදින නිල සංචාරයක් සඳහා රුසියාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු, මෝදි රුසියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රුසියාවට ගොස් සිටින්නේ ඉන්දු රුසියා ද්වී පාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් පැවැත්වෙන සමුළුවට සහභාගී වීම සඳහාය. ගෝලීය සහ කලාපීය වැදගත් කරුණු කාරණා සම්බන්ධයෙන් මෝදි සහ පුටින් අතරේ සාකච්ඡා පැවැත් වෙයි. 

එම සමුළුවට පෙර, මෝදි සහ පුටින් අතරේ සුහඳ හමුවීම් කීපයක් පැවැත්විණි. පළමුවෙන් පුටින්, මෝදි වෙනුවෙන් විශේෂ පෞද්ගලික භෝජන සංග්‍රහයක් පැවැත්වීය.

රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් මෝදි සහ ජනාධිපති පුටින් අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීම කැපී පෙනෙයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, රුසියන් ජනාධිපතිවරයාට අවධාරණය කළේ රුසියන් යුක්රේන අර්බුදයට යුද පිටියේ විසඳුම් නැති බවය.

රාජ්‍ය නායකයාන් දෙදෙනා රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූයේ මොස්කව් අගනුවරට නුදුරින් පිහිටි රුසියන් ජනාධිපතිවරයාගේ නෝවෝ ඔගර්යෝවෝ මන්දිරයේය. 

යුක්රේනයේ සටන් බිමට ගොස් සිටින රුසියන් හමුදාවට බැඳුණු ඉන්දීය සොල්දාදුවන් සම්බන්ධයෙන් ද මෝදි සහ පුටින් අතරේ සාකච්ඡා පැවැත්විණි. 

ඉන්දීයානුවන් රුසියන් හමුදාවට බඳවා ගැනීම සම්බන්ධයෙන් මෝදි සිය අප්‍රසාදය පළ කිරීමත් සමඟ පුටින් අවධාරණය කළේ රුසියන් හමුදාවට එක් වුණු ඉන්දියානුවන් සියලු දෙනා හමුදාවෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත්, අලුතින් ඉන්දියානුවන් බඳවා ගැනීමක් සිදු නොකරන බවත්ය.

රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන්, රුසියාවේ ස්ථාවරය වී ඇත්තේ, සාමකාමී විසඳුමකට යා යුතු බවය. යුද ගැටුම් නවත්වා සාකච්ඡාමය විසඳුමක් වහා අවශ්‍ය බව ඉන්දියාවේ ස්ථාවරයයි.

රුසියන් ජනාධිපති පුටින්, මෝදි වෙනුවෙන් විශේෂ පෞද්ගලික භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.


RECOMMEND POSTS