මොගඩිෂු බෝම්බයෙන් මියගිය ගණන ඉහළ යයි



අප්‍රිකාවට අයත් සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ඊයේ (28) අධි බලැති කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් මියගිය ගණන මේ වනවිට 78 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 100 ඉක්මවයි.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ 125 දෙනකු රෝහල්ගත කළ බවත්, ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්ය. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි යැයි ද පැවැසෙයි.

මොගඩිෂු අගනුවර බදු එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිරිපිට කාර් බෝම්බය පුපුරා ගොස් ඇත. ඒ, උදෑසන කාර්ය බහුල වේලාවකය. බෝම්බය පුපුරා යද්දී ඉදිරිපස මාර්ගයේ ගමන් කළ වාහන රැසක් මුළුමනින්ම විනාශ විය. විශ්ව විද්‍යාල සිසුන් ගමන් කළ බස් රියක් ද බෝම්බයට හසුවිය. විශ්ව විද්‍යාල සිසුන් 30 දෙනකු මියගිය පිරිස අතර සිටින බව පැවැසෙයි.
සෝමාලි ඉන්ජිනේරුවන් පිරිසක් ද බෝම්බයට හසුවී ඇත. ඊට අමතරව සෝමාලියාවේ ඉදිකිරීම් ව්‍යාපෘතියකට සම්බන්ධ වී සිටි තුර්කි ජාතික ඉන්ජිනේරුවන් දෙදෙනකු ද බෝම්බයට බිලිවුණැයි බව සෝමාලි විදේශ කටයුතු අමත්‍යාංශය අද (29) පවසා තිබුණි. තුර්කි වැසියන් දෙදෙනකු ප්‍රහාරයෙන් මියගිය බව තුර්කිය ද තහවුරු කර ඇත.

බෝම්බ ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු සංවිධානයක් බාර ගෙන නැත. කෙසේ නමුත් සෝමාලියාවේ බෝම්බ පුපුරුවමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන්නේ අල් ෂෙබාබ් ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ය. මොවුන් අප්‍රිකා අර්ධද්වීපයේ ක්‍රියාත්මක අල් කයිඩා ත්‍රස්ත සංවිධානයට සහාය දෙයි. සෝමාලියානු ජනාධිපති මොහොමද් අබ්දුල්ලායි ෆර්මාජෝ බෝම්බ ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශයක් කර ඇත. ඒ, ප්‍රහාරයට අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන් වගකිවයුතුයි යැයි පවසමිනි.

2011 වසර වෙද්දී අල් ෂෙබාබ් ත්‍රස්තවාදීහු සෝමාලියාවේ පළාත් රැසක් අත්පත් කරගෙන සිටියහ. කෙසේ නමුත් මේ වනවිට සෝමාලි හමුදා ඔවුන් අඩපණ කිරීමට සමත් වී සිටී.

අල් ෂෙබාබ් ත්‍රස්තයන් ට එරෙහිව සෝමාලි රජයේ හමුදා කරන සටනට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් කීපයක සහාය හිමිවෙයි. අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන් සෝමාලියාවේ පමණක් නොව, සෝමාලියාවේ අසල්වැසි රාජ්‍යයක් වන කෙන්යාවේ ද ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරයි. සෝමාලියා සහ කෙන්යා හමුදා ඒකාබද්ධ වී ත්‍රස්තයන්ට එරෙහිව සටන් ආරම්භ කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා පෙන්වා දෙයි.

මොගඩිෂු නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS