මෙක්සිකෝවට නව ජනපතිවරයෙක්



මෙක්සිකෝ ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට වාමාංශික අපේක්ෂක අන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස් ඔබ්රාදෝර් සමත් විය.

මෙක්සිකෝවේ ජනපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභාමැතිවරණය ඊයේ (1) පැවැත්විණි.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් සහ පළාත් සභා මැතිවරණයෙන් ඉදිරියට පැමිණ සිටින්නේ ද මැනුවෙල් ලෝපේස්ගේ වාමාංශික නිදහස් පක්ෂය සහ ඊට හිතවාදී පක්ෂ යැයි ද පැවැසෙයි. අන්ද්‍රේස් මැනුවෙල් ලෝපේස් ඔබ්රාදෝර් සියයට 53 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත් බව මෙක්සිකෝ පුවත් සේවා වාර්තා කර තිබේ.

64 හැවිරිදි මැනුවෙල් ලෝපේස්, මෙක්සිකෝවේ අගනුවර ලෙස සැලකෙන ‘මෙක්සිකෝ සිටී’ හි හිටපු පුරපතිවරයාය. මැනුවෙල් ලෝපේස් මෙක්සිකෝ වැසියන්ගේ ප්‍රසාදයට ලක් වුණු චරිතයකි. මෙක්සිකෝ වැසියන් ඔහු ආදරයෙන් හඳුන්වන්නේ ‘අම්ලෝ’ යන නමිනි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සන්නද්ධ අපරාධකල්ලි ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන්, මෙවර මහ මැතිවරණය පැවැත්වූයේ විශේෂ හමුදා සහ පොලිස් ආරක්ෂාවක් යටතේය.

මෙක්සිකෝව යනු ඇමෙරිකාවේ අසල්වැසියාය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, අභිනවයෙන් ධුරයට පත් වන මැනුවෙල් ලෝපේස්ට සුබපතමින් ට්විටර් පණිවුඩයක් යවා ඇත. තමන් මැනුවෙල් ලෝපේස් හමුවීමට සූදානමින් පසුවන බවත්, ඇමෙරිකාවත් මෙක්සිකෝවත් අතර මිතුදම් වර්ධනය කර ගැනීමට තමන් අපේක්ෂා කරන බවත් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ වනතෙක් මෙක්සිකෝවේ ජනාධිපති ධුරය හෙබවූයේ එන්රීක් පෙනා නීටෝ ය. ඔහු නියෝජනය කළේ ‘පී.ආර්.අයි’ (විප්ලවීය) පක්ෂයයි. පෙනා නීටෝ සහ ට්‍රම්ප් අතරේ පසුගිය කාලවකවානුවේ ඇයිහොඳයිකම් පළුදු වී තිබුණි.

ට්‍රම්ප් මෙක්සිකෝ ඇමෙරිකා දේශසීමාවේ යෝධ තාප්පයක් ඉදිරිකීරීමට සූදානම් වෙයි. මෙය ට්‍රම්ප්ගේ ඡන්ද පොරොන්දුවකි. ට්‍රම්ප් පවසා ඇත්තේ මෙම දේශසීමා තාප්පය වෙනුවෙන් තමන් මෙක්සිකෝ  රජයෙන් මුදල් ලබා ගැනීමට කටයුතු කරන බවය. පෙනා නීටෝ සහ ට්‍රම්ප් අතරේ ඇයිහොඳයිකම් පළුදු වූයේ ට්‍රම්ප්ගේ මෙමම ප්‍රකාශය මුල්කොට ගනිමිනි.

මෙවර ජනාධිපතිවරණයට ‘පී.ආර්.අයි’ පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූයේ හෝසේ ඇන්තෝනියෝ මේද් ය. මෙක්සිකෝ මාධ්‍ය වාර්තා කළේ මේද්ට හිමිවූයේ තෙවැනි ස්ථානය බවය. දෙවැනි ස්ථානයට පත් වූයේ ‘පී.ඒ.එන්’ (ජාතික පක්ෂය) නියෝජනය කළ රිකාඩෝ අනායා ය.

(රොයිටර්)


RECOMMEND POSTS