මුලින් තමන්ගේ වැරදි හදාගන්න

පසුගිය රජයේ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන්, පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ නව රජය, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහාය පැතූ අවස්ථාවේදී, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා උපදෙස් දී ඇත්තේ අනුන්ගේ වැරැදි නිවැරදි කිරීමට පෙර අගමැති ඉම්රාන් තමන්ගේ වැරැදි නිවැරදි කරගත යුතු බවය.
පාකිස්තාන සංවර්ධන අධිකාරිය පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ හිටපු නවාස් ෂරීෆ් අගමැති සහ මුස්ලිම් ලීගය එන් පක්ෂ රජය, ඉස්ලාමාබාද් අගනුවර නිසි ප්‍රමිතියකින් තොරව, නීත්‍යනුකූල නොවූ ආකාරයට ගොඩනැගිලි රැසක් ඉදිකිරීමට කටයුතු කර ඇති බවය.
ඉදිකිරීම් සඳහා රූස්ස ගස් හිතුමතේ කපා දැමුණු බවත්, එම ඉදිකිරීම් හේතුවෙන් නගරයේ අපවහන පද්ධතිය අවහිර වී, ‘රාවල්’ විල අපවිත්‍ර වී ඇති බවත් බලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දෙනු ලැබුණි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සකීබ් නිසාර් එම අවස්ථාවේදී පෙරළා සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන් අගමැති ඉම්රාන් ඛාන්ගේ ‘බානි ගාලා’ නිවස පිළිබඳ විමසීමක් කර ඇත.
ඉම්රාන් මෙම නිවස ඉදිකර ඇත්තේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කරද්දීය. නිවස ඉදිකර ඇත්තේ නීත්‍යනුකූලව නොවන ආකාරයට බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
අගමැති ඉම්රාන් ඛාන් පළමුවෙන් කළ යුත්තේ එම අනවසර නිවස සම්බන්ධයෙන් ගෙවීමට ඇති දඩ මුදල ගෙවා දැමීම යැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා පැහැදිලි කළේය. අනුන්ගේ වැරැදි නිවැරදි කිරීමට පෙර, තමන් තමන්ගේ වැරැදි නිවැරදි කර ගැනීම කළ යුතු බවත් අගමැතිවරයා ලෙස ඉම්රාන් පාකිස්තාන ජනතාවට ආදර්ශමත් නායකයකු විය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේය.
(එන්.ඩී.ටීවී.)

