මුලින්ම අනතුරු ඇඟවූ වෛද්‍යවරයා මරුට



චීන බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන නිහඬව සිටිද්දී, නව කොරෝනා වයිරසය ගැන එරට වැසියන්ට පළමුවෙන් අනතුරු ඇඟවූ ලී වෙංලියැං නමැති වෛද්‍යවරයා වයිරසය ආසාදනය වීමෙන් අද (7) උදෑසන ජීවිතක්ෂයට පත් විය.

34 හැවිරිදි ලී වෙංලියැං, වයිරසය පැතිරීම ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර අක්ෂි වෛද්‍යවරයෙකි.

වූහාන් නුවර නව කොරෝනා වයිරසය ආසාදනය වූ පළමු රෝගියා, අක්ෂි වෛද්‍යවරයකු වෙත යොමු කළ අවස්ථාවේදී ඔහු පරීක්ෂා කරනු ලැබ ඇත්තේ ලී වෙංලියැං විසිනි.

තමා පරීක්ෂා කළ එම රෝගියාට ආසාදනය ඇති වයිරසයේ ‘සර්ස්’ වයිරසයේ ගති ලක්ෂණ ඇති බව වෛද්‍ය ලී වෙංලියැං සිදු කළ පරීක්ෂණවලදී වටහා ගෙන ඇත. ‘සර්ස්’ යනු 2002 සිට 2003 තෙක් කාලයේ චීනයෙන් ආරම්භ වී ලොව කැලැඹූ මාරක වයිරසයකි. මෙය ද කොරෝනා වයිරසයකි. කොරෝනා යනු සතුන්ගෙන් මනුෂ්‍යයන්ට පැතිරෙන වයිරස රෝගයකි.

නව වයිරසය ‘සර්ස්’ වැනි වයිරසයක් යැයි තමන්ට පෙනී යන බවත් එය මාරක වයිරසයක් බවත්, එය වේගයෙන් පැතිර යෑමට ඉඩ ඇති බවත්, වෛද්‍ය ලී වෙංලියැං වූහාන් නගරයේ සෞඛ්‍ය බලධාරීන්ටත්, හුබෙයි පළාතේ සෞඛ්‍ය බලධාරීන්ටත් දැනුම් දුන්නේය. කෙසේ නමුත් ඒ කිසිවකු වෛද්‍යවරයාට කන් දී නැත. ඉන්පසු වෛද්‍ය ලී වෙංලියැං රජයේ ඉහළ නිලධාරීන්ට වෛරසය ගැන අනතුරු අඟවා ඇති අතර එය ද අසාර්ථක විය.

අවසානයේදී, වෛද්‍ය ලී වෙංලියැං, වූහාන් නුවර වෛද්‍යවරුන්ටත්, වූහාන් වැසියන්ටත් මාරක වයිරසයේ ස්වභාවය ගැනත් එය පැතිරුණොත් මහා විනාශයක් සිදුවන බවත් පවසා ඇත්තේ සමාජ ජාල යොදා ගනිමිනි. ඒ, දෙසැම්බර් 30 වැනිදාය. වෛද්‍ය ලී වෙංලියැං පළමුවෙන් කළ එම අනතුරු ඇඟවීම් සැලකිල්ලට නොගත් බැවින් වයිරසය වූහාන් නුවරත්, ඉන්පසු චීනයේ සෑම පළාතටත් පැතිරුණි.

වෛද්‍ය ලී වෙංලියැං ට නව කොරෝනා වයිරසය ආසාදනය වූ බව වූහාන් වෛද්‍යවරුන් පැවැසුවේ මීට දින කීපයකට පෙර ය. වෛද්‍යවරු විශේෂ සැලකිල්ලක් දක්වමින්,  ලී වෙංලියැං ට අවශ්‍ය සියලු ප්‍රතිකාර ලබා දී ඇත. වෛද්‍ය ලී වෙංලියැංගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් දිවා රෑ උත්සාහ ගත් නමුත් එය අසාර්ථක වී තිබේ.

වෛද්‍ය ලී වෙංලියැං වීරයකු යැයි චීන වැසියෝ පවසති. ඔහුගේ අභාවය වෙනුවෙන්, වූහාන් වැසියන් බොහෝ දෙනකු සොව පළ කර ඇතැයි ද වාර්තා වේ.

බීජීංහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS