මියුලර් වාර්තාව තවම කියෙව්වේ නෑ

නීති උපදේශක රොබට් මියුලර් ඇතුළු විමර්ශන කණ්ඩායම විසින් සකස් කර, කොංග්රස් මණ්ඩලයට ලබා දුන් විශේෂ වාර්තාව තමන් තවමත් කියවා නැතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් ටිවිටර් පණිවුඩයක් හරහා පවසා ඇත.
මියුලර් සහ ඔහුගේ විමර්ශන කණ්ඩායම මෙම වාර්තාව සකස් කළේ 2016 ජනාධිපතිවරණයේදී ට්රම්ප් සහ රුසියාව අතර සම්බන්ධයක් පැවැති බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙනි. වාර්තාව පසුගිය දා කොංග්රස් මණ්ඩලයට (ඇමෙරිකා පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කෙරුණු අතර එහි කොටස් කිහිපයක් එහිදී කතාබහට ලක් විය. ට්රම්ප් රුසියාව සමඟ කිසිදු ආකාරයක කුමන්ත්රණයක් හෝ ගනුදෙනුවක් හෝ කර නැති බව එහිදී අනාවරණය විය.
‘මම තවමත් මියුලර්ගේ වාර්තාව කියෙව්වේ නැහැ. මම එය කියවිය යුතුයි. ඒත් තවම ඒක කරන්න බැරිවුණා. ඒත් මම දන්නවා වාර්තාවෙන් පැහැදිලි වෙනවා මගේ නිර්දෝශීභාවය.’ යැයි ජනපති ට්රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.
2016 ජනාධිපතිවරණයේදී රුසියානු පරිගණක හැකර්වරුන් මැදිහත් වී, දත්ත වෙනස් කළ නිසා, රිපබ්ලිකන් අපේක්ෂක ට්රම්ප්ට ජය ගැනීමට හැකිවුණු බවට චෝදනා එල්ල වී තිබුණි. ඇමෙරිකා ආරක්ෂක අංශ පවා පෙන්වා දුන්නේ එසේ වන්න ඇති බවටය. ඒ අනුව, නීති උපදේශක රොබට් මියුලර් ඇතුළු විමර්ශන කණ්ඩායමට විමර්ශන කටයුතු පැවැරිණි. ඒ අනුව මාස 22 ක් පුරා සිදු කළ පරීක්ෂණවලින් පසු මියුලර් පිටු 400 ගණනක එම විමර්ශන වාර්තාව නීතිපති විලියම් බාර් ට ලබා දුන්නේය.
වොෂින්ටනයේදීය (රොයිටර්ස්)

