මිනිසුන්ගෙන් සතුන්ට කොරෝනා පැතිරෙනවා
‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මිනිසුන්ගෙන් සතුන්ට ආසාදනය වන බව තහවුරු විය. මේ බව තහවුරු කළේ හොංකොං සෞඛ්‍ය බලධාරීන්ය.
මීට දින කිහිපයකට පෙර, හොංකොං හි වයිරසය ආසාදනය වූ 60 හැවිරිදි කාන්තාවකගේ නවාතැනේ සිටි බල්ලකුගේ සිරුරේ ‘කෝවිඞ් 19’ වයිරස විෂ බීජ හමුවිය.
එහිදී හොංකොං වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ වයිරසය සුරතල් සතුන්ට ආසාදනය වෙනවා යැයි අනුමාන කරන බවත් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත්ය.
හොංකොං සෞඛ්‍ය බලධාරීන් එම වැඩිදුර පරීක්ෂණ අවසන් කළ බවත් බල්ලාගේ සිරුරේ වයිරසය දිගටම පවතින බව තහවුරු වුණු බවත් පැවැසූහ.
සුරතල් සතුන්ට කොරෝනා වයිරසය මිනිසුන්ගෙන් බෝ වන බව ඒ අනුව තහවුරු වුණු බවත්, වයිරස ආසාදිතයන්ගේ සුරතල් සතුන් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගන්නා බවත් හොංකොං බලධාරීහු වැඩිදුරටත් පවසා ඇත.
හොංකොංහිදීය (රොයිටර්)

