මැරුණු අයත් බයිඩන්ට ඡන්දය දීලා

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී මියගිය ඇමෙරිකානුවන් පවා ප්‍රතිවාදී ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩන්ට ඡන්දය ලබා දී ඇතැයි, ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.
ඇමෙරිකා ජනාධිපතිවරණය නියමිත පරිදි පැවැත්වූයේ පසුගිය 3 වැනිදාය. ඡන්දය ප්‍රකාශ කිරීමේ නියමිත කාලය අවසන් වී, ඡන්ද ගණන් කිරීමට ආරම්භ කිරීමෙන් පසුවත් ප්‍රමාද වී ඡන්ද පෙට්ටි ලැබුණු බව ට්‍රම්ප් කියයි. නියමිත වේලාවට පසු එසේ ලැබුණු ඡන්ද නීත්‍යාණුකූල ඡන්ද නොවන බවට ට්‍රම්ප් තර්ක කරයි.
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වසංගතය හේතුවෙන් ඇමෙරිකානුවන්ට කල්වේලා ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමට ඇමෙරිකන් මැතිවරණ කොමිසම කටයුතු කළේය. ඒ අනුව, බොහෝ දෙනෙක් සති කිහිපයකට පෙර තැපැල් මගින් ඡන්ද ප්‍රකාශ කළහ. නියමිත දිනට වඩා ප්‍රමාද වී ඡන්ද පෙට්ටි ලැබී ඇත්තේ කොරෝනා වසංගතය හේතුවෙන් තැපැල් සේවා කටයුතු මන්දගාමී වූ බැවින් යැයි මැතිවරණ කොමිසම පැහැදිලි කරයි.
කෙසේ නමුත්, බයිඩන්ට ඡන්දය ලබා දුන් බොහෝ දෙනකු අද ජීවතුන් අතර නොමැති බවත්, ඔවුන් කොරෝනාවට බිලි වී මියගොස් ඇති බවත් ජනපති ට්‍රම්ප් පෙන්වා දෙයි. ඡන්ද වංචා සිදුවුණු බවට ට්‍රම්ප් චෝදනා නගන්නේ ද මේ හේතුව නිසාය.
ඊට අමතරව, මේ වනවිට කැලිෆෝනියාවේ මාර්ගයක් අසල පිහිටුවා තිබුණු ඡන්ද පෙට්ටියකින් ඡන්ද පත්‍රිකා ඉවත් කර ගන්නා මැතිවරණ බලධාරීන්, මුද්‍රා තබන ලද එම ඡන්ද පත්‍රිකා කඩා බලමින් විනෝද වෙමින් ඒවා සාමාන්‍ය බැග්වලට අසුරා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් ඇමෙරිකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ. ‘ඇමෙරිකන් ජනාධිපතිවරණය අන්තිම පහත් තත්ත්වයකට වැටිලා’ යැයි කියමින් ට්‍රම්ප් එම වීඩියෝව මැතිවරණ කොමිසමට යවා ඇති බව ද පැවැසෙයි.
ජනාධිපතිවරණයේදී සිදුවුණැයි පැවැසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ වී ඇත. විමර්ශන ආරම්භ වූයේ ඇමෙරිකන් නීතිපති විලියම් බාර් ඊට අවසර ලබා දීමත් සමඟය. ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය ප්‍රතික්ෂේප කරමින්, රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් අධිකරණයට ඉදිරිපත් කළ මැතිවරණ වංචා පිළිබඳ පැමිණිලි පාදක කර ගනිමින් විමර්ශන පැවැත්වෙන බව ද නීතිපති විලියම් බාර් වැඩි දුරටත් පවසා තිබේ. විමර්ශන කටයුතු මෙහෙයවීම සිදු කරන්නේ, ඇමෙරිකා අධිකරණ දෙපාර්තමේන්තුවේ, අපරාධ විමර්ශන ඒකකයේ අධ්යක්ෂවරයකු වන රිචඩ් පිල්ගර් පත් කර ඇතැයි ද පැවැසෙයි. ජනාධිපතිවරණයේ සිදුවුණු අක්‍රමිකතා පෙන්වා දෙමින් පිටු 234 ක වාර්තාවක් ද ඉදිරිපත් කර තිබේ.
මේ අතර ට්‍රම්ප් විසින් පත් කරනු ලැබ සිටින වත්මන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, ට්‍රම්ප් සිය දෙවැනි සහ අවසන් ධුරය සම්පූර්ණ කිරීමට නියමිත බවය. මේ අතර, ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජෝ බයිඩන්ට විදේශ නායකයන්ගෙන් සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන්ගෙන් ලැබුණු සුබ පැතුම් බයිඩන්ට ලබා නොදීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි ඩිමොක්රටික් පක්ෂය චෝදනා නගයි.
වොෂින්ටනයේදීය (රොයිටර්)

