මැතිවරණය කල් දමන්නේ නෑ

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය කල් දමන්නේ නැතැයි සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මුනගැග්වා කියයි.
සිම්බාබ්වේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන ජූලි මස 31 වැනිදාය. පෙරේදා (24) ජනපතිවරයා සහභාගී වූ මැතිවරණ රැළියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එයින් 42 ක් තුවාල ලැබූහ.
බෝම්බය පුපුරා ගියේ ජනපති මුනගැග්වා වේදිකාවට ගොඩවෙද්දීය. බෝම්බ ප්‍රහාරයෙන් ජනපතිවරයාට කිසිදු අනතුරක් සිදු නොවිණි.
ජනපතිවරයාට අනතුරක් සිදුනොවුණ ද, ඔහු සමඟ වේදිකාවට ගොඩවුණු සිම්බාබ්වේ උප ජනාධිපතිවරු දෙදෙනා වන කෙම්බෝ මොහාදී සහ කොන්සැන්ටීනෝ චිවෙන්ගා තුවාල ලැබූහ. උප ජනාධිපති චිවෙන්ගාගේ මුහුණ තුවාල සිදුවුණු බවත්, උප ජනාධිපති මොහාදීගේ පාදයක් තුවාල වුණු බවත් වාර්තා වේ. දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මුනගැග්වා, බලයට පත් වූයේ, වසර 37 ක් බලයේ රැඳී සිටි රොබට් මුගාබේගේ සමුගැනීමෙන් පසුවය. මුගාබේ බලය අත්හැරියේ, පාලක පක්ෂයෙන් සහ ජනතාවගෙන් දිගින් දිගට ම එල්ල වූ බලපෑම මැදය. ඒ, පසුගිය නොවැම්බර් මාසයේදීය.
එළඹෙන මහ මැතිවරණයෙන් ද මුනගැග්වා සහ ඔහුගේ සානූ දේශප්‍රේමී පෙරමුණට බලය හිමිවේවි යැයි බොහෝ දෙනාගේ අදහස වී තිබේ. කෙසේ නමුත් මුගාබේගේ ප්‍රතිවාදියකු වුවත් මුනගැග්වා ද මුගාබේගේ ප්‍රතිපත්ති අනුගමනය කරනවා යැයි විපක්ෂ කණ්ඩායම චෝදනා කරයි. බෝම්බ ප්‍රහාරය සිදු කළේ කවුරුන්දැයි යන්න තවමත් අනාවරණය වී නැත. සිම්බාබ්වේ විපක්ෂ නායක නෙල්සන් කැමිසා, බෝම්බ ප්‍රහාරය තරයේ හෙළා දැක ඇති බව ද වාර්තා වේ.
(රොයිටර්)

