මා හපා කන්නේ නෑ: හමුවෙලා කතාබහ කරමු



රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පවත්වා, අර්බුදය විසඳා ගැනීමට තමන් සූදානම් යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.

සතියකට වැඩි කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට හැකිවනු ඇත්තේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් යැයි ද යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අවධාරණය කර ඇත.

මුහුණට මුහුණ හමුවෙමු යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට යෝජනා කර ඇති නමුත්, රුසියන් ජනාධිපති පුටින් ඊට තවමත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

‘රුසියන් ජනාධිපතිවරයාගෙන් මා ඉල්ලීමක් කරනවා. අප මුහුණට මුහුණ හමුවී අර්බුදය විසඳා ගන්න කතා කරමු. මා පුටින්ගෙන් මීට පෙර අවස්ථා ගණනාවකදීත් හමුවී සාකච්ඡා කරන්න ඇරැයුම් කළා ඒත් ඔහු කැමැති වුණේ නැහැ. පුටින්ට මා කියන්න කැමැතියි, මා හමුවෙන්න බය වෙන්න එපා. මා හපා කන්නේ නැහැ.’ යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

මේ අතර, රුසියන් ජනාධිපති පුටින් පවසා ඇත්තේ තමන් සහ තම හමුදා ප්‍රධානීන් සැලැසුම් කළ අයුරින් යුදමය කටයුතු සාර්ථකව සිදුවන බව පමණි. යුක්රේන හමුදාව, යුක්රේන සිවිල් වැසියන් ‘මිනිස් පළිහක්’ ලෙස යොදා ගන්නා බවට රුසියන් ජනාධිපති පුටින් යුක්රේන ජනාධිපතිට චෝදනා නගා තිබේ.

44 හැවිරිදි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, අද ලොව කාගේත් ආදරයට ලක්වුණු රාජ්‍ය නායකයෙකි. යුක්රේන සිවිල් වැසියන් අවි අතට ගෙන යුක්රේන හමුදාව සමඟ එක් වී රුසියන් හමුදාවට එරෙහිව නැගී සිටින්නේ ජනාධිති සෙලන්ස්කී නොබියව රුසියාවට අභියෝග කර ඇති බැවිනි. පසුගිය 24 වැනිදා රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කළ අවස්ථාවේදී ඇමෙරිකාව යුක්රේන ජනාධිපතිට පවසා ඇත්තේ, යුක්රේනයෙන් පිටවී යෑමට ඔහුට උදවු කළ හැකි බවය. යුක්රේන ජනාධිපතිවරයා එය එක හෙලා ප්‍රතික්ෂේප කළ බව ද වාර්තා වේ.

අද (4) වනවිට යුක්රේනයේ කීව් ඇතුළු ප්‍රධාන නගර කිහිපයක් අල්ලා ගැනීමට ඒවා වට කරමින් පහර දීම සිදුවෙයි. කෙර්සොන් නගරය රුසියන් හමුදා විසින් මුළුමනින්ම අල්ලා ගෙන ඇත. කර්සොන් නගරයේ 2,90,000 ක් ජීවත් වෙති.

කාර්කීව් සහ මරියුපෝල් යන නගරවලට රුසියන් හමුදා දිගින් දිගටම පහර දීම් සිදු කරන බව පැවැසෙයි. ඊයේ (3) මරියුපෝල් වරාය නගරයට ද රුසියන් හමුදා ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය.

මේ අතර යුක්රේනයේ චර්නොහිව් නගරයටත් රුසියන් හමුදා ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇතැයි වාර්තා වේ. එම ප්‍රහාරවලින් නගර වැසියන් 33 දෙනකු මියගිය බවත් 19 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. චර්නොහිව් පිහිටා ඇත්තේ කීව් අගනුවර සිට කිලෝ මීටර් 120 ක් දුරිනි.

(රොයිටර්)


RECOMMEND POSTS