මාස්ක් නැති අය අත්අඩංගුවට ගන්න



ප්‍රසිද්ධියේ මාසක් නොපලඳින සියලු දෙනා අත්අඩංගුවට ගන්නැයි පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට්ස් එරට පොලිසියට නියෝග කළේය.

පිලිපීන රජය සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් අනුව, මුහුණු ආවරණ අනිවාර්ය කර තිබේ. ඒ පසුගිය ජූනි මාසයේ, පනවා තිබුණු ලොක්ඩවුන් තහංචි ඉවත් කිරීමෙන් පසු, නව ආසාදිතයන් වාර්තා වීමට පටන් ගත් අවස්ථාවේදීය.

‘රට යළි විවෘත කළේ ආර්ථිකය කඩා වැටීම වැළැක්වීමටයි. ඒත් ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපඳින්නේ නැහැ. මුහුණු ආවරණ පලදින්නේ නැහැ. ඒ නිසා ආසාදිතයන් ඉහළ යන බව වාර්තා වෙනවා. වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට මා දලදඬු නීති සකස් කරනවා. මුහුණු ආවරණ පැලැදීම අනිවාර්ය කර තිබෙනවා. මාස්ක් නොපැලඳීම බරපතල වරදක්. අපරාධයක්. මාස්ක් නැතිනම් අත්අඩංගුවට ගන්නවා. එක්කෝ හිරේ දානවා. නැතිනම් නිරෝධායනයට යොමු කරනවා’ යැයි ජනාධිපති ඩුටරේට්ස් රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පැවැසුවේය.

‘කොවිඞ් 19’ වයිරසය පාලනය කිරීමට, සෞඛ්‍ය බලධාරීන්ගේ සහායට පිලිපීන ජනාධිපතිවරයා හමුදාව යොදවා ඇත. ලොක්ඩවුන් තහංචි ඉවත් කරමින් පසුගිය ජූනි අවසානයේ පිලිපීනය යළි විවෘත කළ අවස්ථාවේදී නව ආසාදිතයන් 1,480 ක් හමුවී ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.

පිලිපීනයෙන් වාර්තා වන සමස්ත ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයන් ගණන 70,700 පසු කර තිබේ. මරණ වාර්තා වන්නේ 1,837 ක් ලෙසිණි. සම්පූර්ණ සුවය ලැබූ ගණන 23,281 කි.

මැනිලා නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS