මරාදැම්මැයි කී නියෝජිතයා යහතින් ඉන්නවා

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ වියට්නාමයේ හැනොයි අගනුවර පැවැති හමුව අසාර්ථකවීම හේතුවෙන්, එම හමුවේ සම්බන්ධීකරණ කටයුතු කළ උතුරු කොරියා විශේෂ නියෝජිත කිම් යෝක් චෝල් මරා දැමුණු බවට පළ වූ වාර්තා අසත්‍යයක් බව උතුරු කොරියා මාධ්‍ය වාර්තා කරයි.
උතුරු කොරියා මාධ්‍ය මේ බව වාර්තා කළේ කිම් යෝක් චෝල් යහතින් සිටින බවටත්, ඔහු උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමඟ සංගීත ප්‍රසංගයක් නරඹන අයුරුත් දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දසුන් ප්‍රසිද්ධ කරමිනි.
ට්‍රම්ප් කිම් හමුව අසාර්ථක වූයේ කිම් යෝක් චෝල් නිසා බවත්, ඔහු ඇමෙරිකාවේ වාසියට කටයුතු කරමින් නායක කිම් ජොන් උන්ට ද්‍රෝහිකම් කළ බවත් චෝදනා කරමින්, කිම් යෝක් චෝල් මරා දැමුණු බව ඉකුත් බ්‍රහස්පතින්දා (30) දකුණු කොරියානු පුවත් සේවා වාර්තා කළේය.
සිකුරාදා (31) දකුණු කොරියා පුවත් සේවා වාර්තා කළේ හැනොයි අගනුවර සමුළුව අසාර්ථක වූ බැවින්, නායක කිම් ජොන් උන්ගේ අණ පරිදි කිම් යෝක් චෝල් සිර කඳවුරකට යැවුණු බවත්ය. කෙසේ නමුත් එම පුවත් සියල්ල අසත්‍ය බවත් කිම් යෝක් චෝල් තවමත් උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ පැසැසුමට ලක් වී සිටින බවත් උතුරු කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත.
උතුරු කොරියා නායකයාත් ඇමෙරිකන් ජනාධිපතිවරයාත් අතර පළමු සහ දෙවැනි හමුව පැවැත්වූයේ දෙරටේ විශේෂ නියෝජිතයන් දෙදෙනාගේ මැදිහත්වීමෙනි. උතුරු කොරියාව ඇමෙරිකන් විශේෂ නියෝජිතයා ලෙස කිම් යෝක් චෝල් පත් කරද්දී ඇමෙරිකාව, උතුරු කොරියාව වෙනුවෙන් පත් කළ විශේෂ නියෝජිතයා වූයේ ස්ටීවන් බීගන්ය. හැනොයි නුවර සමුළුවට සහභාගීවීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් වියට්නාමයට ගියේ දේශසීමා හරහා ඔහුගේ විශේෂ දුම්රියෙනි. කිම් ජොන් උන් අසලින් එම දුම්රියෙන් ගමන් කළ තැනැත්තා වූයේ කිම් යෝක් චෝල්ය.
සෝල්හිදීය (එන්.ඩී.ටීවී.)

