භූමි කම්පාවෙන් මියගිය ගණන 25 ක්

ප්‍රබල භූමි කම්පාවකින් පාකිස්තාන ඊයේ 24 සවස කැලැඹිණි.
භූමි කම්පාව හේතුවෙන් 25 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 300 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
භූමි කම්පාවේ අපිකේන්ද්‍රය සටහන් වූයේ ජෙලුම් නගරයට කිලෝ මීටර් 22 ක් උතුරින් යැයි භූ විද්‍යාඥයෝ කියති. පාකිස්තාන පාලනයට නතු කාශ්මීර පළාත සහ පාකිස්තානයට අයත් පන්ජාබ් පළාතට රික්ටර් පරිමාණයේ ඒකක 5.8 ක් සටහන් කළ එම භූමි කම්පාවෙන් හානි සිදුවිය.
භූමි කම්පාව හේතුවෙන් පොළොව පැලී මාර්ග රැසකට සිදුවිය. මෝටර් රථ රැසක් මාර්ගවල සිරවිණි. මෝටර් රථ භූමි කම්පාව සමඟ හටගත් කුහර තුළ සිරවෙද්දී, ඒවායේ සිටි පිරිස් බේරා ගැනීම ලහිලහියේ සිදුවිය.
නිවාස සිය ගණනකට හානි සිදුවී ඇති බවත්, නිවාස අහිමිවුණු පිරිස් සඳහා සහන කඳවුරු පිහිටුවා ඇති බවත් පැවැසෙයි. නිවාස අහිමිවුණු පිරිස් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ලබා දීමට පාකිස්තාන ප්‍රාන්ත බලධාරීන් පමණක් නොව, පාකිස්තාන රජය ද පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ද භූමි කම්පාවේ ප්‍රබලත්වය දැනී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඉස්ලාමාබාද්හිදීය (එන්.ඩී.ටීවී.)

