භූතානයෙන් පළමු ආසාදිතයා හමුවෙයි



සාර්ක් සංවිධානයට අයත් රටක් ද වන භූතානයෙන් පළමු වරට කොරෝනා ආසාදිතයකු හමුවී ඇතැයි වාර්තා විය.

76 හැවිරිදි මෙම ආසාදිතයා ඇමෙරිකානුවකු සංචාරකයකු බවත්, ඔහු භූතානය බලා පැමිණ ඇත්තේ ඉන්දියාවේ ගුවහාතී සිට බවත් භූතාන අගමැති ලෝටේ ෂෙරිංග් මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය.

භූතානය ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට මුහුණදීමට විශේෂ රෝහලක් ස්ථාපිත කර තිබුණු අතර, ඇමෙරිකානු ජාතික මෙම ආසාදිතයා මේ වනවිට එර රෝහලේ නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර තිබේ.

මෙම ඇමෙරිකානු සංචාරකයා, ඔහුගේ බිරිඳ (59) ඇතුළු තවත් සංචාරකයන් 59 දෙනකු ද සමඟ භූතානයට පැමිණ ඇත. එම 59 දෙනා අතර ඉන්දීය ජාතිකයන් අට දෙනෙකු ද සිටින බව පැවැසෙයි. එම 59 දෙනා ද නිරෝධායනය කිරීමට භූතාන සෞඛ්‍ය බලධාරීහු පියවර ගෙන ඇත.

මේ වනවිට ඉන්දියාවෙන් ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස රෝගීන් 30 දෙනකු හමුවී ඇත. ඔවුන්ගෙන් වැඩි දෙනා ඉන්දියාවට පැමිණි ඉතාලි සංචාරකයන්ය. එම සංචාරකයන් ඉන්දියාව පුරා රැගෙන ගිය බස් රථයේ රියැදුරාටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පැවැසෙයි.

තිම්පුහිදීය (රොයිටර්)


RECOMMEND POSTS