බෙහෙත් කරල දිළිඳු රටවලටත් ලැබෙන ළකුණු



'කොවිඩ් 19' ආසාදිතයන් කඩිනමින් සුවපත් කිරීමට හැකියාව ඇතැයි පැවැසෙන, 'මොල්නුපියවියර්' බෙහෙත් කරල දිළිඳු රටවලට ලබා දීමේ අරමුණින්, එම බෙහෙත් කරල නිපදවන ඇමෙරිකාවේ 'මර්ක්' ඖෂධ නිෂ්පාදන සමාගම නව ගිවිසුමකට අත්සන් තැබුවේය.

'මොල්නුපියවියර්' බෙහෙත් කරලට තවමත් ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ හෝ වෙන කිසිදු රටක ඖෂධ පාලන අධිකාරියක හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හෝ ඇනුමැතිය ලැබී නොමැත.

එසේ වුවත්, සියලු දෙනාගේ විශ්වාසය වී ඇත්තේ කරලට කඩිනමින් අනුමැතිය හිමිවනු ඇති බවය. ඊට හේතුව මෙම කරල අතුරු ආබාධ අවම කිරීමත්, වෛද්‍ය උපදෙස් මත නිවසේ දී භාවිතයට ගත හැකි වයිරස නාශක ඔසුවක් වීමත් නිසාය.

ඇමෙරිකාවේ ඖෂධ සඳහා අනුමැතිය ලබා දෙන ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය, යුරෝපා රටවල් සඳහා ඖෂධ අනුමත කරන යුරෝපා ඖෂධ පාලන අධිකාරිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක් වී, 'මොල්නුපියවියර්' සම්බන්ධයෙන් සායනික දත්ත ලහිලහියේ අධ්‍යයනය කරන බවත් ඉතාමත් ඉක්මණින් ඊට අනුමැතිය ලැබෙනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වනවිටත් ලොව ධනවත් රටවල් රැසක්, 'මොල්නුපියවියර්' බෙහෙත් කරල මිලදී ගැනීමට ඇණවුම් ලබා දී ඇතැයි ද වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය 'මොල්නුපියවියර්' සඳහා හිමිවුණු සැණින් එම ගනුදෙනු ආරම්භ වනු ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ 'මොල්නුපියවියර්' ඖෂධය දිළිඳු රටවල කොරෝනා රෝගීන් වෙනුවෙන් ද ලැබිය යුතු බවය. ඇමෙරිකාවේ 'මර්ක්' ඖෂධ නිෂ්පාදන සමාගම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර, ඔවුන් කොන්දේසි විරහිතව 'ගෝලීය ඖෂධ පේටන්ට් සමූහය' සංවිධානය සමඟ ගිවිසුම් අත්සන් කර තිබේ.

ඒ, දිළිඳු රටවලට 'මොල්නුපියවියර්' ලබා දීම සම්බන්ධයෙනි. 'ගෝලීය ඖෂධ පේටන්ට් සමූහය' සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධාන ජාලයට අයත් සංවිධානයකි. 'මර්ක්' ඖෂධ නිෂ්පාදන සමාගම මෙසේ කොන්දේසි විරහිතව ලාබ අපේක්ෂා නොකර, දිළිඳු රටවලට ද 'මොල්නුපියවියර්' ලබා දීමට කැමැත්ත පළ කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද පැසැසුමට හේතුවක් වී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS