බුරුන්ඩි ජනාධිපති හෘදයාබාධයකින් මරුට

බුරුන්ඩි ජනපති 55 හැවිරිදි පියේ කුරුසීසා හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වූ බව බුරුන්ඩි රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
බුරුන්ඩි රජය, ජනපතිවරයාගේ අභාවය සම්බන්ධ පුවත නිවේදනය කළේ ට්විටර් පණිවුඩයක් මගිනි. එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වන ආකාරයට ජනාධිපති කුරුසීසා පසුගිය සෙනසුරාදා දැල් පන්දු ක්‍රීඩා තරගයකට සහභාගී වී ඇත. ඔහු රෝගාතුර වී ඇත්තේ එම තරගය අතරතුරේය. ජනපතිවරයා කඩිනමින් රෝහල්ගත කෙරුණි.
ඉරිදා දිනයේ ජනපතිවරයා හොඳ සිහියෙන් සිටි බවත්, සුවදුක් බැලීමට පැමිණි සියලු දෙනා සමඟ සාමාන්‍ය පරිදි කතා කළ බවත් පැවැසෙයි. කෙසේ නමුත් පසුගිය සඳුඳා (8) ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හිටිහැටියේ පිරිහී ගිය බවත් හෘදයාබාධයකට ගොදුරු වුණු බවත්, වෛද්‍යවරුන්ට ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වුණු බවත් රජය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
මීට දින 10 කට පෙර, ජනාධිපති ආර්යා ඩෙනිස් කුරුසීසා නයිරෝබි බලා ගියාය. ඒ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යැයි පැවැසිණි. කෙසේ නමුත් පසුව අනාවරණය වූයේ ඇය ‘කොවිඞ් 19’ ආසාදිතයකු බවය. එහෙයින් ජනාධිපති කුරුසීසාට ද ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වන්න ඇති බවත්, හෘදයාබාධය ඇති වූයේ වයිරස නිසා ඇති වූ සංකූලතාවක් නිසා බවත් සැක කෙරේ.
බුරුන්ඩි යනු නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයකි. බුරුන්ඩි රාජ්‍යයේ අගනුවර වන්නේ ජිටේගාය. ජනගහනය මිලියන 11.18 කි. බුරුන්ඩි රාජ්‍යයේ අසල්වැසියන් වන්නේ රුවන්ඩාව, ටැන්සානියාව, කොංගෝවය.
පසුගිය මාසයේ බුරුන්ඩි ජනාධිපතිවරයා සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතරේ අර්බුදයක් පැවැතිණි. ඒ, බුරුන්ඩි රාජ්‍යයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිසි පියවර නොගන්නා බවටත්, බුරුන්ඩි සෞඛ්‍ය අංශ සහ රජය නිවැරදි දත්ත ලබා නොදෙන බවටත්ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එල්ල වූ මෙම චෝදනා මුල්කොට ගනිමින් එරට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරයා රටින් නෙරපා දැමීමට ද ජනාධිපති කුරුසීසා කටයුතු කළේය.
පසුගිය මැයි 20 වැනිදා බුරුන්ඩි රාජ්‍යයේ මැතිවරණය පැවැත්විණි. මැතිවරණය පැවැත්වූයේත්, මැතිවරණ රැලි පැවැත්වූයෙත් ‘කොවිඞ් 19’ වයිරසය සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකර යැයි බුරුන්ඩි රාජ්‍යයේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිතවරයා පසුව චෝදනා කර තිබුණි. එමෙන්ම වයිරස ආසාදිතයන් හඳුනා ගැනීමට බුරුන්ඩි සෞඛ්‍ය අංශ නිසි වෛද්‍ය පරීක්ෂණ සිදු නොකරන බව ද එම නියෝජිතවරයා පවසා තිබුණි.
බුරුන්ඩි සෞඛ්‍ය බලධාරීන්ට අනුව, මේ වනවිට එරටින් වර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 83 කි. ඔවුන්ගෙන් 45 දෙනකු සම්පූර්ණ සුවය ලබා ඇති අතර වාර්තා වන්නේ එක් මරණයක් පමණි.
පියේ කුරුසීසා, බුරුන්ඩි ජනපති ධුරයට පත් වූයේ 2005 වසරේය. පසුගිය මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ ඉවෙරෙස්තී ඬේෂිමියා, ජනපති පියේ කුරුසීසාගේ සගයෙකි. ඉවෙරෙස්තී ඬේෂිමියා, ජනපති ධුරය බාර ගැනීමට නියමිතව ඇත්තේ ලබන අගෝස්තු මාසයේය. 1993 වසරේ සිට 2005 දක්වා බුරුන්ඩි රාජ්‍යයේ සිවිල් යුද්ධයක් පැවැතිණි. එයින් මියගිය ගණන ලක්ෂ 3 ඉක්මවයි. සන්නද්ධ කැරැලිකරුවන් ලෙස පියේ කුරුසීසා සහ ඉවෙරෙස්තී ඬේෂිමියා එම සිවිල් යුද්ධයට සම්බන්ධ වූහ.
සිවිල් යුද්ධය අවසන් වූයේ ‘අරූෂා’ ප්රඤ්ඥප්තිය නමින් සාම සැලැස්මක් ක්‍රියාත්මක වීමෙනි. ඒ අනුව, බුරුන්ඩි ජනපතිවරයකුට හිමිවන්නේ ධුර කාල දෙකක් පමණි. 2005 වසරේ ජනපති ධුරයට පත්වුණු පියේ කුරුසීසා, 2010 මැතිවරණයෙන් ද ජයග්‍රහණය කළේය. ඒ අනුව ඔහු සිය දෙවැනි ධුර කාලය සම්පූර්ණ කළේය. කෙසේ නමුත් මැතිවරණ නීති වෙනස් කරමින් 2015 වසරේ පැවැත්වුණු ජනාධිපතිවරණයෙන් ද පියේ කුරුසීසා ජයග්‍රහණය කර බලයේ දිගටම රැඳී සිටියේය. මෙය ජාත්‍යන්තරයේ අප්‍රසාදයට හේතුවක් විය.
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකයකු වූ බුරුන්ඩි රාජ්‍යය එයින් ඉවත් කර ගැනීමට ද ජනාධිපති පියේ කුරුසීසා කටයුතු කළේය. ඒ, රජයේ අනුග්‍රහයෙන් ඝාතන සහ ස්ත්‍රී දූෂණ සිදුවෙනවා යැයි එල්ල වුණු චෝදනා මුල්කොට ගනිමිනි. ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටක්, එහි සාමාජිකත්වය අත්හැරිය පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
ජිටේගාහිදීය (රොයිටර්)

