බි‍්‍රතාන්‍ය අගමැති යළි රාජකාරි අරඹයි



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී, සුවය ලැබූ බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද සිට යළි රාජකාරි ආරම්භ කළේය.

අග‍්‍රාමාත්‍ය ජොන්සන් වයිරස ආසාදිතයකු වූයේ මීට මාසයකට පමණ පෙරය. ඒ, ඔහු සෞඛ්‍ය සහ ආරක්ෂක ප‍්‍රධානීන් නිරන්තරයෙන් හමුවෙමින්, මහා බි‍්‍රතාන්‍යයේ වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට ගත් උත්සාහය නිසාය. ‘කොවිඞ් 19’ ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු, අග‍්‍රාමාත්‍යවරයා ඩවුනිං වීදියේ අංක 10 අගමැති නිල නිවසේ ස්වයං නිරෝධායනයට ලක් විය.

කෙසේ නමුත් රෝග තත්ත්වය උත්සන්න වූ බැවින්, වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ඔහු මධ්‍යම ලන්ඩන් නුවර ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කෙරුණි. ඒ, පසුගිය අපේ‍්‍රල් 5 වැකිදාය. ස්වසන අපහසුතා හේතුවෙන් දින දෙකක් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටි අග‍්‍රාමාත්‍යවරයා ජොන්සන් පසුව සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටවිය. ඒ, අපේ‍්‍රල් 12 වැනිදාය.

ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී, අග‍්‍රාමාත්‍ය ජොන්සන් රැක බලා ගැනීමට යෙදවුණු හෙදියන් දෙදෙනාගෙන් එක් අයකු බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට එක් වී සිටින නවසීලන්ත ජාතික හෙදියකි. ඇය නවසීලන්තයේ දකුණු දිවයිනේ සිට මහා බි‍්‍රතාන්‍යයට ආ ජෙනි මැක්ගී නැමැත්තියයි. ‘කොවිඞ් 19’ වයිරසය පරදවා, සම්පූර්ණයෙන් සුවය ලබා රෝහලෙන් පිටව ගිය අග‍්‍රාමාත්‍ය ජොන්සන්, තමන්ට ප‍්‍රතිකාර කළ බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය සේවයේ සැමට ප‍්‍රසිද්ධියේ ස්තුති කළේය.

ඊට අමතරව, ජෙනි මැක්ගී ගැන ද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. ‘මාගේ ජීවිතය බේරා ගන්න, වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සැම කැපවීමෙන් කටයුතු කළා. මා ඔවුන්ට ණය ගැතියි. ඒ වගේමයි මා කියන්න  ඕනෑ, හෙදියන් දෙදෙනකු මා රැුක බලා ගත්තා. ඒ දෙදෙනාට මාගේ විශේෂ ස්තුතිය හිමිවිය යුතුයි’ යැයි අග‍්‍රාමාත්‍යවරයා පැවැසුවේය.

මේ වනවිට මහා බි‍්‍රතාන්‍යයේ ‘කොවිඞ් 19’ ආසාදිත මරණ සංඛ්‍යාව 20,700 පසු කර ඇති අතර, ගතවුණු පැය 24 ඇතුළත ද මරණ 413 ක් වාර්තා විය. ‘ලොක්ඩවුන්’ කි‍්‍රයාවලිය අවසන් කර ජන ජීවිතය යළි යථා තත්ත්වයට පත් කරන්නැයි බි‍්‍රතාන්‍ය වැසියන් පමණක් නොව, විපක්ෂය වන කම්කරු පක්ෂයෙන් ද අගමැති ජොන්සන් ප‍්‍රමුඛ කොන්සවර්ටිව් රජයට බලපෑම් එල්ල වෙමින් පවතී. වයිරස අවදානම පහව යනතුරු මහා බි‍්‍රතාන්‍යය යළි විවෘත කළ නොහැකි බව අගමැති ජොන්සන් පවසා ඇත.

ලන්ඩන් නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS