බි‍්‍රතාන්‍ය අගමැතිට පිය පදවිය



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස තර්ජන මැද බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ට යළිත් වරක් පිය පදවිය උරුම වූ බව බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

55 හැවිරිදි වියෙහි පසුවන බොරිස් ජොන්සන් දෙවරක් විවාහ වී දික්කසාද වූ අයෙකු වන අතර ඔහුට දරුවෝ පස් දෙනෙක් වෙති. ජොන්සන්ගේ වත්මන් පෙම්වතිය වන්නේ 32 හැවිරිදි කැරී සිමොන්ඞ්ස් ය. අගමැති ජොන්සන් සහ කැරී සිමොන්ඞ්ස් පසුගිය වසර අවසානයේ විවාහ ගිවිසගත් බව පැවැසිණි.

අද (29) දරු උපත සිදුවෙද්දී අගමැති ජොන්සන් ද කැරී සිමොන්ඞ්ස් අසල සිටි බවත් අලූත උපන් බිලිඳාත් මවත් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

බොරිස් ජොන්සන්ගේ පෙම්වතිය වීමට පෙර කැරී සිමොන්ඞ්ස් ඔහුගේ මාධ්‍ය ලේකම්වරිය වූවාය. මේ වනවිට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් මහා බි‍්‍රතාන්‍යයට දැඩි බලපෑම් එල්ල වී ඇත. අගමැති ජොන්සන්ට පමණක් නොව ගැබිනියක වූ කැරී සිමොන්ඞ්ස්ට ද වයිරසය ආසාදනය විය.

අගමැති ජොන්සන්ට රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ දින දෙකක් ගත කිරීමට පවා සිදුවිය. කැරී සිමොන්ඞ්ස්ගේ තත්ත්වය බරපතල නොවුණු අතර වයිරසයෙන් කුසේ සිටි බිලිඳාට ගැටලූවක් සිදු නොවුණු බව වෛද්‍යවරුන් පැවැසීය. සම්පූර්ණ සුවය ලැබීමෙන් පසු අගමැති ජොන්සන් යළි රාජකාරි ආරම්භ කළේ පසුගිය 26 වැනිදාය.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS