බ්‍රසීල ජනපතිට සියල්ල අමතකයි



නාන කාමරයේ ලිස්සා වැටී හිසට තුවාල සිදුවීමෙන් පසු කෙටි කාලයකට තමන්ට සියල්ල අමතක වුණැයි බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ පැවැසුවේය.

ජනාධිති බොල්සරානෝ ජනපති මන්දිරයේ නාන කාමරයේ ඇද වැටී තුවාල ලැබුවේ පසුගිය 23 වැනිදා සවසය. එම අවස්ථාවේදී ජනාධිපතිවරයා කඩිනමින් රෝහල් ගත කෙරුණි.

‘හිටිහැටියේ මට හැමදේම අමතක වුණා. මම හිටියේ රෝහලේ. මම කවුරුද කියලවත් මා දැන සිටියේ නැහැ. පැය ගණනාවකට පසුවයි මට මා කවුරුදැයි කියා මතක් වුණේ. හිසට සිදුවුණු කම්පනයක් හේතුවෙන් කෙටි කාලයකට සියල්ල අමතක වූ බව වෛද්‍යවරුන් මට පැහැදිලි කර තිබුණා. කලබල නොවී ඉන්නැයි උපදෙස් ලැබුණා. ඔවුන් කී පරිදි මට සියල්ල යළි මතක් වුණා’ යැයි මාධ්‍ය හමුවේ පෙනී සිටි ජනාධිපති බොල්සරානෝ සිදුවුණු සියල්ල පැහැදිලි කළේය.

හිසට තුවාල සිදුවුණු අවස්ථාවේ වෛද්‍යවරුන් කඩිනමින් සීටී ස්කෑන් පරීක්ෂණයක් ද සිදු කළේය. එහිදී පෙනී ගියේ මොළයට හානියක් සිදුවී නැති බව යැයි වෛද්‍යවරුන් ද පවසා ඇත.

සාඕ පාවුලෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS