බයිඩන් ජයග්‍රහණය අබියස

ඇමෙරිකා ජනාධිපතිවරණයෙන් ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින බව නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵලවලින් පෙනී ගොස් තිබේ.
ඇමෙරිකන් ඉතිහාසයේ ජනපති ධුර අපේකෂකයකු ලබා ගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව දිනා ගැනීමට ද ජෝ බයිඩන් සමත් වී සිටී. කෙසේ නමුත් ඇමෙරිකන් ජනාධිපති ක්‍රමය අනුව, ජයග්‍රහණය කරන්නේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් දිනා ගන්නා අපේක්ෂකයා නොවෙයි.
මීට පෙර අවස්ථා පහකදී මෙන්ම ගතවුණු වසර 20 ක කාලය ඇතුළත අවස්ථා දෙකකදී වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් අපේක්ෂකයාට ජනාධිපති ධුරයට පත්වීමට නොහැකි විය.
ජනාධිපතිවරණයකදී තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොවෙයි. ඇමෙරිකන් කොංග්‍රසයට (පාර්ලිමේන්තුවට) නියෝජිතයන් තෝරා ගැනීම ද සිදුවෙයි. ඇමෙරිකන් කොංග්‍රසය, සෙනෙට් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ලෙස කොටස් දෙකකි.
ජනාධිපතිවරණයේදී, ජනතාව තමන් ප්‍රිය කරන ජනපති අපේක්ෂකයාට ඡන්දය දුන්නත්, එම ඡන්දය සෘජුව එම අපේක්ෂකයාට හිමි වන්නේ නැත. ඡන්දය හිමිවන්නේ ඇමෙරිකාවේ ප්‍රාන්තවල එම අපේක්ෂකයාගේ පක්ෂයේ නියෝජිතයන්ටය.
ඡන්ද ගණ එසේත් නැතිනම් ඉලෙක්ට්‍රෝරල් කොලේජ් ඡන්ද යනු මෙම නියෝජිතයන් ගණනය. ප්‍රාන්තයට නියෝජිතයන් කී දෙනෙකු සිටිනවා ද යන්න තෝරා ගැනීම සිදුවන්නේ එම ප්‍රාන්තයේ ජනගහනය අනුවය. ඒ අනුව, ප්‍රාන්ත මට්ටමින් සෑම වසරක 10 කට වරක්ම ජනසංගණන පැවැත්වෙයි.
ජනපති ට්‍රම්ප් සිය රිපබ්ලිකන් පාක්ෂිකයන් අමතමින්, කියා සිටියේ ඡන්ද වංචා රැසක් සිදුවී ඇති බැවින් තමන් ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහාය පතන බවය. මිලියන ගණනක් තමන්ගේ ජයග්‍රහණය සහතික කිරීමට ඡන්දය ලබා දී ඇති නමුත්, අතලොස්සක් තම ජයග්‍රහණය උදුරා ගැනීමට උත්සාහ ගන්නා බවට ට්‍රම්ප් චෝදනා කළේය. පෙන්සිල්වේනියා, විස්කොන්සින් සහ මිචිගන් යන ප්‍රාන්තවල ඡන්ද ගණන් කිරීම නවත්වන්නැයි ට්‍රම්ප් අධිකරණයෙන් ඉල්ලීමක් ද කළේය
ඇමෙරිකන් ඉතිහාසයේ වැඩිම මුදලක් වැය වුණු ජනාධිපතිවරණය මෙය වන අතර, කොරෝනා වසංගතය හේතුවෙන් කල්වේලා ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාවට අවස්ථාව උදා කර දී තිබුණු බැවින්, පසුගිය 3 වැනිදා, ජනාධිපතිවරණය දිනය වනවිට මිලියන 100 ක් ඡන්දය ප්‍රකාශ කර තිබුණි. ඒ අතරේ ට්‍රම්ප් සහ බයිඩන් ද සිටියහ. ඇමෙරිකන් ඉතිහාසයේ වැඩිම පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ ජනාධිපතිවරණය වන්නේ ද මෙයයි.
ජෝ බයිඩන් උප ජනාධිපති ධුරය සඳහා තෝරා ගෙන සිටින්නේ කාන්තාවකි. ඇය දකුණු ඉන්දීය සම්භවයක් සහිත කමලා හැරිස් ය. බයිඩන් ජයග්‍රහණය කළහොත් උප ජනාධිපති ධුරයට පත් වන පළමු කාන්තාව ලෙස කමලා හැරිස් ඉතිහාසගත වනු ඇත. දෙවැනි ධුර කාලය අපේක්ෂා කරමින්, ජනපති සටනට පිවිසි ට්‍රම්ප් 74 හැවිරිදි වියෙහි පසුවන අතර, ජෝ බයිඩන් 77 හැවිරිදි වියෙහි පසුවෙයි. අවුරුදු 70 වැඩි අපේක්ෂකයන් දෙදෙනකු ඇමෙරිකන් ජනාධිපතිවරණයට සහභාගී වූ පළමු අවස්ථාව මෙය වෙයි. ජනපති ධුරය හිමිවුවහොත්, ජෝ බයිඩන්, එම ධුරයට පත්වන වයස්ගතම ජනාධිපතිවරයා වනු ඇත.
වොෂින්ටනයේදීය (රොයිටර්)

