බයිඩන්ට හැරිස්ට එන්නත හෙට
කොරෝනා ආසාදනය වළක්වන ‘ෆයිසර්’ එන්නත, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ජෝ බයිඩන්ට සහ උප ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින කමලා හැරිස්ට ලබා දීම හෙට (21) සිදුවනු ඇතැයි බයිඩන්ගේ මාධ්‍ය ලේකම්වරිය ජෙන් සාකී පවසයි.
ජනපති ධුරය සඳහා තේරී පත් වී සිටින 78 හැවිරිදි ජෝ බයිඩන්ට පමණක් නොව, ඔහුගේ බිරිඳ 69 හැවිරිදි ජිල් බයිඩන්ට ද, උප ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින 56 හැවිරිදි කමලා හැරිස්ට පමණක් නොව, 56 හැවිරිදි ඇගේ සැමියා ඩග් එම්හොෆ්ට ද ‘ෆයිසර්’ එන්නත ලබා දීම සිදුවනු ඇතැයි ජෙන් සාකී වැඩි දුරටත් පවසා ඇත.
‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව නිපදවා ඇති සාර්ථක එන්නතක් ලෙස පිළිගැනෙන්නේ මෙම ‘ෆයිසර්’ එන්නතය. මෙහි සාර්ථකත්වය සියයට 95 කි. එන්නත මාත්‍රා දෙකකින් යුක්ත වන අතර, පළමු මාත්‍රාව ලබා දී දින 21 කට පසු දෙවැනි මාත්‍රාව ලබා දෙයි. ‘කොවිඩ් 19’ වයිරසයට සිරුරේ ප්‍රතිශක්තිය නිර්මාණය වන්නේ ඉන්පසුවය.
‘ෆයිසර්’ එන්නත ඇමෙරිකානුවන්ට ලබා දීමට ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය තීරණය කළේ මීට සතියකට පෙරය. ඒ, හදිසි තත්ත්වයක් යටතේය. අද වනවිට ලොව වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.
‘ෆයිසර්’ එන්නතට හෝ වෙන කිසිදු කොරෝනා වළක්වන එන්නතකට හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මෙතෙක් ලැබී නැත. කුඩා දරුවන්ට, කිරිදෙන මවුවරුන්ට, සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයකින් පෙළෙන අයට හෝ අසාත්මිකතා ඇති අයට හෝ එන්නත ලබා දීම සිදුවන්නේ නැත.
එන්නත නිපදවා ඇත්තේ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම එක් වෙමිනි. ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වැළැක්වීමට සාර්ථක එන්නතක් නිපදවීමට ‘ෆයිසර්’ සමාගම සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ සමාගම එක් කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයයි.
ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ සාමාජික සාමාජිකාවන්ට සහ ඇමෙරිකන් කොංග්රස් මණ්ඩල (පාර්ලිමේන්තු) නියෝජිතයන්ට ‘ෆයිසර්’ එන්නත ලබා දීම ආරම්භ වී තිබේ. පසුගිය සිකුරාදා (18) පළමුවෙන් එන්නත ලබා ගත්තේ වත්මන් උප ජනාධිපති 61 හැවිරිදි මයික් පෙන්ස්ය.
උප ජනාධිපති මයික් පෙන්ස් එන්නත ලබා ගැනීම කළේ ප්රසිද්ධියේය. එය සජීවීව රූපවාහිනී නාළිකා ඔස්සේ ඇමෙරිකානුවන් සැමට දැක ගැනීමට ලැබුණි. මයික් පෙන්ස් ප්‍රසිද්ධියේ එන්නත ලබා ගත්තේ, එන්නත ලබා ගැනීමට බිය නොවන්නැයි පෙන්වමිනි. කෙසේ නමුත් ඇමෙරිකාවේ කළු ජාතිකයන්ගෙන් තුනෙන් එකක පිරිසක් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බව පැවැසෙයි.
ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ නායක මිච් මැක්කොනෙල්, නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකාව නැන්සි පෙලෝසි ඇතුළු ඇමෙරිකන් රජයේ ඉහළ නිලධාරීන් රැසක් ද පසුගිය 18 වැනිදා එන්නත ලබා ගැනීමට ඉදිරිපත් වූහ.
මේ අතර, තමන් දැන්ම එන්නත ලබා නොගන්නා බව, පසුගිය නොවැම්බර් 3 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් පැරදුණු ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී ට්‍රම්ප් කොරෝනා වයිරස ආසාදිතයකු බව තහවුරු විය.
කෙසේ නමුත් දින 3 ක් වැනි කෙටි කාලයකදී ට්‍රම්ප් වයිරසය පරාජය කළේය. ඒ, වෛද්‍යවරුන් ඔහුට පර්යේෂණ මට්ටමේ පවතින ඖෂධ රැසක් ලබා දීමෙනි. ට්‍රම්ප් පමණක් නොව, බිරිඳ මෙලානියාට සහ පුතු බැරන්ට ද වයිරසය ආසාදනය විය. ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩිමොක්රටික් පාක්ෂික ජෝ බයිඩන්, ජනාධිපති ධුරයේ දිවුරුම් දෙනු ඇත්තේ ලබන ජනවාරි 20 වැනිදාය.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)

