බයිඩන්ට තවමත් සුබ පතලා නෑ



ඇමෙරිකාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩන්ට සුබ පැතීම ප්‍රමාද කරන බව රුසියාවත් චීනයත් පවසා ඇත.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් පවසා ඇත්තේ ඇමෙරිකන් ජනාධිපතිවරණයේ අවසන් තීන්දුව මෙතෙක් ප්‍රකාශයට පත් වී නොමැති බවය.

ඇමෙරිකන් මැතිවරණ බලධාරීන් ජෝ බයිඩන් ජයග්‍රහණය කළේ යැයි පැවැසුවේ බයිඩන්, ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ‘ඡන්ද ගණ’ 270 පසු කළ බැවිනි.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඡන්ද ප්‍රතිඵලය පිළි නොගන්නා බව ප්‍රකාශ කර ඇති අතර, ට්‍රම්ප් ඔහුගේ නීතීඥ කණ්ඩායම මාර්ගයෙන් නඩු පැවැරීමට ක්‍රියා කර තිබේ.

ඇමෙරිකන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දෙන තුරු ජයග්‍රාහකයා ට්‍රම්ප් ද නැතිනම් බයිඩන් ද යන්න තහවුරු වී නැතැයි රුසියන් සහ චීන ජනාධිපතිවරුන් අවධාරණය කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර ඇත්තේ ජෝ බයිඩන් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පාක්ෂිකයන්, තමන්ගේ ජය උදුරා ගත්තේ හොර ඡන්ද වලින් බවය. ට්‍රම්ප් මෙසේ චෝදනා කරන්නේ, ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමෙන් පසුවත්, ඡන්ද ලැබෙන්න වූ බැවිනි. එසේ ගණන් කෙරෙන ඡන්ද නීත්‍යාණුකූල නොවන බව ට්‍රම්ප්  පවසා ඇත.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS