බයිඩන්ගේ ජය තහවුරු වෙයි



ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් යැයි ඊයේ (14) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරැණි.

ඡන්ද ගණවලට හිමිකම් කියන නියෝජිතයන් දෙසැම්බර් 14 වැනිදා මුණ ගැසුණු අතර ජෝ බයිඩන් ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා යැයි නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරැණේ එහිදී ය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය නොවැම්බර් මස 3 වැනිදා පැවැත්විණි. එහිදි ඡන්ද ගණ (ඉලෙක්ටෝරල් කොලේජස්) 306ක බලය තහවුරැ කරගනිමින් ජනාධිපතිවරණයෙන් ජය ලැබීමට ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් සමත්විය. සිය අවසන් හා දෙවැනි ධුර කාලය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට දිනාගැනීමට හැකි වූයේ ඡන්ද ගණ 232ක් පමණි. මනාප ඡන්දවලින් මිලියන හයක් ඉදිරියෙන් සිටීමට ජෝ බයිඩන් සමත් විය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ඡන්ද ගණ හෙවත් මැතිවරණ සමූහ ගණන 538 කි. ඉන් 270ක බලය තහවුරැ කරගන්නා අපේක්ෂකයා ජනාධිපතිවරණයෙන් ජය ලබයි. ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහාකයා තීරණය වන්නේ ඔහු ලබාගන්නා සමස්ත ඡන්ද ගණනෙන් නොව ඔහු දිනාගැනීමට සමත් වන ඡන්ද ගණ සංඛ්‍යාවෙනි. ඇමෙරිකාවේ ජනපද පනහක් වන අතර ජනපදවල හිමි ඡන්ද ගණ (මැතිවරණ සමූහ) ගණනක් තිබේ. ජනාධිපතිවරණයේදී තෝරා ගැනෙන්නේ මෙම ඡන්ද ගණ සඳහා නියෝජිතයන් ය. එම නියෝජිතයෝ දෙසැම්බර් මාසයේදී ඡන්දය ප්‍රකාශ කරති. ඇමෙරිකාවේ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනෙන්නේ එම නියෝජිතයන්ගේ ඡන්දයෙනි.

කෙසේ නමුත් ඔවුන් ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටදැයි ජනාධිපතිවරණයේදී තීරණය කර ගත හැකි අතර එසේ වුවත් අවසන් මොහොතේදී වෙනස්වීම් සිදුවිය හැකි ය. අවසන් වරට ජනාධිපතිවරණය පැවැති 2016 වසරේ දී එවැනි තත්ත්වයක් උද්ගත විය.

කෙසේ නමුත් නූතන ඇමෙරිකාවේ දෙසැම්බරයේ ඡන්ද ගණ නියෝජිතයන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම හුදෙක් උත්සවයක් සහ චාරිත්‍රයක් බවට පත්ව තිබේ. ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද ගණ සහ ඊට නියෝජිතයන් පත් කරගැනීම සිදුවීම ඊට ප්‍රධාන හේතුව වී තිබේ.

ජනාධිපතිවරණයේදී පරාජයට පත් වුවද වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය පිළිනොගත් අතර මැතිවරණයේදී දැවැන්ත වංචා හා දූෂණ සිදුව ඇතැයි දිගින් දිගටම ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණයේ ජය්‍රගාහකයා නිල වශයෙන් නිවේදනය කිරීමෙන් පසු “ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා” වූයේ යැයි ජෝ බයිඩන් පැවැසීය.

ඡන්ද ගණ හෙවත් ඡන්ද සමූහවලදී, තීරණාත්මක ජනපදවලින් පැහැදිලි බහුතර නියෝජිතයන් පිරිසකගේ ඡන්දය තහවුරැ කරගැනීමට තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් සහ තේරී පත්වූ උප ජනාධිපති කමලා හැරිස් සමත්වූහ.

ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අදහස් දැක්වූ ජෝ බයිඩන්, වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනතාවගේ කැමැත්ත පිළිගැනීමට අසමත් වී ඇතැයි ද චෝදනා කළේය.

“මේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ දැල්ල දල්වා දැන් බොහෝ කාලයක් වෙනවා. වසංගතයට හෝ බලය අවභාවිත කිරීමට හෝ මේ දැල්ල නිවා දැමීමට නොහැකි බව අපි දන්නවා” යැයි ද ජෝ බයිඩන් කීය.

සිය ජනපදය වන ඩෙලවෙයාර්හි විල්මින්ග්ටන්හිදී ජනතාව අමතමින් ඊයේ රාත්‍රියේ (14) ඔහු ඒ බව කීවේය.   

“ඇමෙරිකාවේ දේශපාලනඥයෝ බලය ලබාගන්නේ නැහැ. ජනතාව දේශපාලනඥයන්ට බලය ප්‍රදානය කරනවා” යැයි ජෝ බයිඩන් එහිදි කීවේය.

ඒ.එෆ්.පී. ඇසුරිනි


RECOMMEND POSTS