බටහිර ආධාර ගන්න වෙනිසියුලාව සූදානම්



බටහිර රටවලින් ලැබෙන ආධාර භාර ගැනීමට තමන් සූදානම් යැයි වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ ප්‍රධානී පීටර් මෝරර්ට පවසා ඇත.

වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ පීටර් මෝරර් අතර විශේෂ හමුවක් පැවැත්විණි. ඒ, වෙනිසියුලාවේ කැරැකස් අගනුවරදීය. එම හමුව අවසන් වූයේ, අර්බුද රැසකින් පීඩාවට පත් වී සිටින වෙනිසියුලා වැසියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් විදෙස් ආධාර ලබා ගැනීමට ජනාධිපති මදුරෝ කැමැත්ත පළ කරමිණි.

වෙනිසියුලාවේ මානුෂික අර්බුදයක් නිර්මාණය වී ඇති හෙයින්, පවතින දේශපාලන අර්බුදය පසෙකලා එම මානුෂීය අර්බුදය විසඳීමට පළමුවෙන් පියවර ගත යුතු බව මදුරෝ මෙන්ම, පීටර් මෝරර් ද තීරණය කර ඇත. පීටර් මෝරර් පවසා ඇත්තේ වෙනිසියුලාවේ නීත්‍යාණුකූල ජනාධිපති ලෙස ජගත් ප්‍රජාව මදුරෝ පිළිගත යුතුයි කියාය.

අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ පමණක් නොව, විදුලි බලය නොමැතිව වෙනිසියුලා වැසියෝ පීඩාවට පත් වී සිටිති. වෙනිසියුලාවේ දරිද්‍රතාවය ද ඉහවහා ගොස් ඇත. මෙම අර්බුද හමුවේ වෙනිසියුලා විපක්ෂ දේශපාලන කණ්ඩායම් උත්සාහ ගන්නේ ජනාධිපති මදුරෝ ධුරයෙන් ඉවත් කිරීමටය.

විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී, රටේ අන්තර්වාර ජනාධිපති ලෙස විපක්ෂ නායක ගුඅයිඩෝ නම් කර තිබේ. ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් බොහොමයක් සහාය දක්වන්නේ ගුඅයිඩෝටය. එසේ සහාය දක්වමින්, එම රටවල් වෙනිසියුලාවට ආධාර එවූ නමුත් ජනාධිපති මදුරෝ දේශසීමා අවහිර කරමින්, එම ආධාර බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි.

කැරැකස්හිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS