බංග්ලාදේශ මහ මැතිවරණය අනිද්දා

බංග්ලාදේශයේ 11 වැනි මහ මැතිවරණය අනිද්දා (30) පැවැත්වීමට නියමිතය.
ධුර කාල තුනක් සම්පූර්ණ කළ අගමැතිනී 71 හැවිරිදි ශීක් හසීනා යළිත් වරක් අගමැති ධුරය වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නීය. මහ මැතිවරණය පැවැත්වෙන්නේ රටේ දේශපාලන නොසන්සුන්තාවක් පැවැත්වෙද්දීය.
ප්‍රතිවාදී විපක්ෂ දේශපාලන කණ්ඩායම් දැඩි ලෙස මර්දකය කරන බවට අගමැතිනී ශීක් හසීනා ප්රමුණ රජයට දෝෂාරෝපණ එල්ල වී ඇත. එපමණක් නොව, බංග්ලාදේශ දේශසීමාවේ සරණාගත කඳවුරුවල රැඳී සිටින මියන්මාර රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් හේතුවෙන් හටගත් අර්බුදය සම්බන්ධයෙන් ද ශීක් හසීනාගේ රජය අපකීර්තියට පත් වී ඇත.
අගමැතිනී ශීක් හසීනා සහ ඇගේ අවාමි ලීගය ප්රමුඛ සන්ධානයට අභියෝගයක් වී ඇත්තේ, ජාතික ඒකීය පෙරමුණ විපක්ෂ සන්ධානයෙනි.
ජාතික ඒකීය පෙරමුණ සන්ධානයට නායකත්වය දෙන්නේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන බංග්ලාදේශ ජාතික පක්ෂයයි. බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායිකාව 73 හැවිරිදි කලීඩා සියා ය. දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබ කලීඩා සියා සිරදඬුවම් විදිමින් සිටින හෙයින් ඇයට මැතිවරණයට ඉදිරිපත් විය නොහැකිය.
සියාගේ අඩුව පුරවමින්, බංග්ලාදේශ ජාතික පක්ෂය මෙහෙයවන්නේ ඔක්ස්ෆර්ඞ් අධ්‍යාපනය ලැබූ හිටපු අධිකරණ ඇමැතිවරයකු වූ 82 හැවිරිදි කමාල් හොසෙයින් ය. කෙසේ නමුත් හොසෙයින් අගමැති ධුර අපේක්ෂක ලෙස මැතිවරණයට ඉදිරිපත් නොවන අතර, විපක්ෂ සන්ධානය ජයග්‍රහණය කළොත් අගමැති ධුරය හිමි වන්නේ කාටදැයි යන්න මෙතෙක් නිවේදනය කර නොමැති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
1991 වසරේ සිට 96 දක්වාත්, 2001 සිට 2006 දක්වාත් බංග්ලාදේශයේ අගමැතින ලෙස කටයුතු කළේ කලීඩා සියා ය. එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් කලීඩා සියා දිගින් දිගටම පවසා ඇත්තේ ඇය නිර්දෝෂී කියාය.
(ඒ.එෆ්.පී.)

