බංග්ලාදේශ මගී යානය පැහැර ගැනීමේ තැත වරදී



පිස්තෝලයක් ඇති බව පවසමින්, තර්ජනය කරමින්, මගීන් 148 දෙනකුගෙන් සමන්විත බංග්ලාදේශ ගුවන් යානයක් පැහැර ගැනීමට තැත් කළ තරුණයකුට එරට ආරක්ෂක අංශ වෙඩි තැබුවේය.

කලහ කරමින් සිටි එම තරුණයා පැහැර ගැනීමට තැත් කර ඇත්තේ  බංග්ලාදේශ ගුවන් සේවයේ බෝයිං 737-800 වර්ගයේ, අංක බීජී 147 ගුවන් යානයයි. යානය බංග්ලාදේශයේ ඩකා අගනුවරින් ගුවන්ගත වී ඇත්තේ ඩුබායි බලා යෑමටය.

යානය පැහැර ගැනීමට තැත් කළේ 25 හැවිරිදි තරුණයෙකි. යානයට ගොඩුණු අවස්ථාවේ පටන් තරුණයා සැකකටයුතු අයුරින් හැසිරුණු බව ගුවන් සේවිකාවෝ පසුව පැවැසූහ.

යානය ගුවන්ගත වී ඩුබායි බලා පියාසර කරද්දී, තරුණයා ගුවන් සේවිකාවන්ට සහ මගීන්ට පවසා ඇත්තේ තමා සතුව පිස්තෝලයක් ඇති බවත්, ගුවන් යානය තමන් පැහැර ගන්නා බවත්ය.

ඒ වනවිට යානය බංග්ලපාදේශයේ චිතගොන් වෙරළ නගරයට ළංවී තිබුණි. නියමුවන්, සිද්ධිය ගුවන් බලධාරීන්ට දැනුම් දුන් විට යානය කඩිණමින් චිතගොන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩ බෑමට උපදෙස් ලැබුණි. බංග්ලාදේශ හමුදාවේත් පොලිසියේත් ත්‍රස්ත මර්දන කණ්ඩායම් ගුවන් තොටුපොළට කැඳවන ලදී.

චිතගොන් ගුවන් තොටුපොළට යානය පහත් කරද්දී තරුණයා කෑ ගසන්න වී ඇත්තේ තමාට බංග්ලාදේශ අගමැතිනී ශීක් හසීනා සමඟ කතා කිරීමට අවශ්‍ය බවය. ඒ වනවිට අගමැතිනී හසීනා, චිතගොන් නුවරට පැමිණ සිටි බව ද බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.

යානය ගුවන් තොටුපොළට ගොඩ බෑ අවස්ථාවේදී හමුදා සහ පොලිස් නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් යානය වට කරමින් ඇතුළට කඩා වැදී ඇත. තරුණයා යටත්වීම ප්‍රතික්ෂේප කළ බැවින්, ආරක්ෂක අංශ සාමාජිකයන් ඔහුට වෙඩි තැබූ බව පැවැසෙයි.

තුවාල ලබා රෝහල් ගත කරද්දී තරුණයා මියගිය ගොස් ඇත. යානයේ සිටි මගීන්ට හෝ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට හෝ කිසිදු අනතුරක් සිදුනොවිණි.

තරුණයා සතුව තිබී පිස්තෝලයක් සොයා ගත් බව ආරක්ෂක අංශ වැඩිදුරයත් කියා සිටී. සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, තරුණයා මානසික ආබාධයකින් පෙළුනු අයකු යැයි සැක කරන බවත් මෙහෙයුමට සම්බන්ධ වූ මේජර් ජනරාල් මොතියුර් රහ්මාන් පසුව මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

ඩකාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS