බංග්ලාදේශයේ විරෝධතා

කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි බලකරමින්, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශීක් හසීනාට එරෙහිව, ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි. විරෝධතා සංවිධානය කර ඇත්තේ එරට ප්‍රධාන විපක්ෂය ලෙස සැලකෙන බංග්ලාදේශ ජාතික පක්ෂයයි.
ඩකා අගනුවර ‘ගෝලප්බාග්’ ක්‍රීඩාංගනයට විරෝධතාකරුවන් දස දහස් ගණනක් එක් රැස් වුණු බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
විරෝධතාවට මුල් වූයේ පසුගිය දා බංග්ලාදේශ ආරක්ෂක අංශ බංග්ලාදේශ ජාතික පක්ෂ මූලස්ථානයට කඩා වැදීමේ සිද්ධිය මුල්කොට ගනිමිනි. එම අවස්ථාවේදී ආරක්ෂක අංශ සහ පක්ෂ සාමාජිකයන් අතර දරුණු ගැටුම් සිදුවුණු බවත් එක් පක්ෂ ආධාරකරුවකු මියගිය බවත් මාධ්‍ය වාර්තා කළේය.
ආරක්ෂක අංශ විපක්ෂ මූලස්ථානයට කඩා වැදුණේ විපක්ෂ නායකයන් එක් වී රජයට එරෙහිව විරෝධතා රැල්ලක් සැලැසුම් කරද්දීය. මේ වනවිට විපක්ෂ නායකයන් බොහෝ දෙනකු අත්අඩංගුවට ගෙන ඇත්තේ රට අස්ථාවර කිරීමට උත්සාහ ගන්නා බවට චෝදනා කරමිණි.
විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය චෝදනා නගන්නේ, පොලිසිය තම නායකයන් අල්ලාගෙන රැගෙන ගියේ ඇස් බැඳ මාංචු දමමින් බවය. පොලිසිය එල්ල වන මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.
බංග්ලාදේශය ද මාස ගණනාවක සිට අර්බුද රැසකට මුහුණ දෙයි. එරට ඉන්ධන මිලද ඉහළ ගොස් ඇති අතර, පැය ගණනක් විදුලිය කැපීම ද සිදුවෙයි. වහා ධුරයෙන් ඉවත් වී මැතිවරණයකට ඉඩ සලසා දෙන්නැයි විපක්ෂය අග්‍රාමාත්‍ය ශීක් හසීනාට බල කරන්නේ මේ නිසාය.
ගෝලප්බාග්’ ක්‍රීඩාංගනයට රැස්වුණු විපක්ෂ විරෝධතාකරුවන් ගණන ලක්ෂ දෙකක් බව මාධ්‍ය වාර්තා කර ඇත. කෙසේ නමුත් ඩකා පොලිසියේ ප්‍රකාශක ෆාරුක් අහ්මද් පවසා ඇත්තේ එම ගණන 30,000 ක් පමණ බවය.
(ඒ.එෆ්.පී.)

