බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
දහසකට වැඩි විරෝධතාකරුවන් පිරිසක් ‘ප්රොතෝම් ආලෝ’ පුවත් කාර්යාලයට කඩා වැදීමට උත්සාහ ගත් බව ද වාර්තා වේ.
අපක්ෂපාතී පුවත්පතක් ලෙස සැලකෙන, ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත පළ වන්නේ බෙංගාලි බසිනි. අගමැතිනී ෂෙයික් හසීනාගේ පාලන සමයේ දී ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත දැඩි ලෙස උදහසට ලක් විය. ඒ හසීනාගේ රජය විවේචනය කරමින් පුවත් පළ කළ බැවිනි.
කෙසේ නමුත් දැන් ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පතට විරෝධයක් එල්ල වී ඇත්තේ, එම පුවත්පතේ කතුවරයා ලෙස කටයුතු කරන ෂදාද් ෂරීෆ් සහ කර්තෘ මණ්ඩලය ෂෙයික් හසීනාට සහාය දක්වමින් පුවත් පළ කරන බවට නැගෙන චෝදනා නිසාය.
හසීනාට අග්‍රාමාත්‍ය ධුරයෙන් සමු ගැනීමට සිදුවූයේත්, අසල්වැසි ඉන්දියාවට බලා යෑමට සිදුවූයේත් ශිෂ්‍ය අරගලය හේතුවෙනි. ඒ, පසුගිය අගෝස්තු 5 වැනිදාය. මේ වනවිට ඇය යළි බංග්ලාදේශයට ගෙන්වා ගැනීමට බංග්ලාදේශ අන්තර්වාර රජය උත්සාහ ගන්නා බව ද පැවැසෙයි.
පුවත්පත වසා දමන්නැයි බල කරමින් විරෝධතා පවත්වන්නේ ද අගමැතිනී හසීනා ධුරයෙන් නෙරපා දමා අන්තර්වාර රජයක් පිහිටුවීමට මැදිහත් වුණු අරගලකරුවන්ය.
විරෝධතාකරුවන් ‘ප්රොතෝම් ආලෝ’පුවත් කාර්යාලය ඉදිරිපිට රැස්වී විරෝධතා පවත්වන්න වූහ. ඔවුන්ගෙන් වැඩිදෙනා විශ්ව විද්‍යාල සිසුන් යැයි බංග්ලාදේශ මාධ්‍ය පැවැසීය.
බංග්ලාදේශ අන්තර්වාර රජය මැදිහත් වී, පුවත් කාර්යාලයේ ආරක්ෂාවට පොලිසිය සහ හමුදාව යෙදවූ බවත්, කලහකාරී ලෙස පුවත්පත් කාර්යාලයට කඩා වැදීමට උත්සාහ ගත් විරෝධතාකරුවන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට කටයුතු කළ බවත් මාධ්‍ය වාර්තා කර ඇත.