පොලිස් නිලධාරියාට මිලියන 1.25 ක ඇපයක්



කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලැබූ මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් නිලධාරී ඩෙරෙක් චෝවින් අධිකරණය හමුවට කෙරැණු අවස්ථාවේ ඔහුට ඇමෙරිකන් ඩොලර් දොලොස් ලක්ෂ පනස් දහසක ඇප මුදලක් නියම කෙරුණි.

46 හැවිරිදි ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය මිනියැපොලිස් නගරයේ පමණක් නොව මුළු ඇමෙරිකාව පුරාම  නොසන්සුන්තාවක් ඇති කිරීමට හේතුවක් විය. ඇප මුදල ඇමෙරිකන් ඩොලර් දොලොස් ලක්ෂ පනස් දහසක් ​තෙක් ඉහළ ගියේ එය සැලකිල්ලට ගනිමිනි.

ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගෙන බිම පෙරළා, ඔහුගේ ගෙල දණිස්සෙන් තද කරගෙන සිටි සුදු ජාතික පොලිස් නිලධාරියා ඩෙරෙක් චෝවින්ය. එම අවස්ථාවේ තවත් පොලිස් නිලධාරීන් තිදෙනකු ද එහි සිටි අතර, ඔවුන්ට මිනීමැරීමට ආධාර කිරීම සහ අනුබලදීම යන චෝදනා එල්ල වී ඇත. ඔවුන් ද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී හුස්ම සිරවී මියගියේ පසුගිය 25 වැනිදාය. ඉන්පසු ඇමෙරිකානු කළු ජාතිකයන්ට ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් සහ ෆ්ලොයිඩ් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලමින් ඇමෙරිකාව පුරා විරෝධතා ආරම්භ විය. එම විරෝධතා තවමත් අවසන් වී නොමැත. ජෝර්ජ් ෆ්ලොයිඩ් හුස්ම හිරවී මියයද්දී එම දසුන් අසල සිටි පිරිස් රෑගත කළහ. පසුව ඒවා සමාජ මාධ්‍ය ඔස්සේත් ඇමෙරිකන් පුවත් නාළිකා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් විය. ඇමෙරිකාව ගිනිගත්තේ ඉන්පසුවය.

මිනියැපොලිස් පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ වෙද්දී, ඔවුන් සේවයෙන් නෙරපා දැමීම සිදුවිය. පළමුවෙන් මිනීමැරැම් චෝදනා එල්ල වූයේ ඩෙරෙක් චෝවින් ට පමණි. සෙසු පොලිස් නිලධාරීන් තිදෙනාට චෝදනා එල්ල වූයේ විරෝධතා උත්සන්න වී විරෝධතාකරැවන්ගේ බලපෑම් නිසාය. එය සිදුවූයේ දින කීපයකට පසුවය.

පොලිස් අත්අඩංගුවේ සිටියදී, කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ් මියයෑමේ සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අනුයුක්තව සිටි මිනියැපොලිස් පොලිස් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල ද කඩා දමා එය යළි ඉදි කරන බව මිනියැපොලිස් නගර බලධාරීන් තීරණය කර තිබේ. නගර බලධාරීන් මෙම තීරණය ගත්තේ ඡන්ද විමසුමක් පවත්වමිනි. එහිදී ඒකමතිකව තීරණය වූයේ, අපකීර්තියට පත්වුණු මිනියැපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව කඩා බිඳ දමා යළි ඉදි කළ යුතු බවත්, මිනියැපොලිස් පොලිසිය කෙරෙහි ජනතා විශ්වාසය යළි ඇති කළ යුතු බවත්ය.

මිනියැපොලිස්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS