පොම්පේඕගේ ප්‍රකාශයට චීනයෙන් විරෝධය

මෙරට දෙදින නිල සංචාරයක නිරත වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ කොළඹදී කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අද (28) ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.
‘‘චීනය නරක ගිවිසුම්, නීතියට ගරු නොකිරීම, මුහුදේදීත් ගොඩබිමේදීත් නීතියක් නොමැතිකම, ස්වෛරීත්වය උල්ලංඝණය කිරීම යනාදියේ පාර්ශවකරුවෙක්. චීන කොමියුනිස්ට් පක්ෂය කියන්නේ විලෝපිකයෙක්. (ඉංග්‍රීසියෙන් ප්‍රෙඩේටර්) එහෙත් ඇමෙරිකාව ඊට වෙනස්. අපි එන්නේ මිත්‍රයෙක් පාර්ශවකරුවෙක් විදියට’’ යැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කොළඹ විදේශ අමාත්‍යාංශයේ පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී පැවැසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් කොළඹ චීන තානාපති කාර්යාලය පෙරළා ට්විටර් පණිවුඩයක් නිකුත් කළේ ඒලියන් වර්සස් ප්‍රෙඩේටර් විද්‍යා ප්‍රබන්ධ හොලිවුඩ් චිත්‍රපට සිහි ගන්වමිනි.
‘‘සමාවෙන්න රාජ්‍ය ලේකම්තුමනි, අප මේ වනවිට චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ කටයුත්තේ නියැළී සිටිනවා. අප කාර්යබහුලයි. ඒලියන් වර්සස් ප්‍රෙඩේටර් ගැටුමකට ඔබ කළ ආරාධනයට අපේ කැමැත්තක් නැහැ. ඇමෙරිකාවට පුළුවන් වුණාට දෙපිටිකාට්ටු වැඩ අපට බෑ’’.
චීන තානාපති කාර්යාලය සිය ට්විටර් පණිවුඩයට ඒලියන් වර්සස් ප්‍රෙඩේටර් පෝස්ටරයක ඡායාරූපයක් ද එක් කර තිබුණි.
ඒලියන් වර්සස් ප්‍රෙඩේටර් නවතම වික්‍රමය නොවැම්බර් 3 වැනිදා දැක ගන්න ලැබෙනු ඇතැයි ද ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සදහන් වී ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය නොවැම්බර් මස 3 වැනිදා පැවැත්වීමට නියමිතය.
කොළඹ පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවට මෙරට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සහභාගී විය.
හර්ෂණ තුෂාර සිල්වා

