පුවත් ආයතනයකට වෙඩි ප්‍රහාරයක්



ඇමෙරිකාවේ මේරිලන්ඞ් ජනපදයේ ඇනාපොලිස් නුවර ‘කැපිටල් ගැසට්’ පුවත්පත් ආයතනයට කඩා වැදුණු තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි තැබීමකින්, පුවත් ආයතනයේ මාධ්‍යවේදීන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 20 කි.

තුවාල ලැබූ 20 දෙනා අතරේ ද මාධ්‍යවේදීන් සිටින බව පැවැසෙයි. වෙඩි තැබීම කළේ 38 හැවිරිදි ජැරොඞ් ඩබ්ලිව්. රමෝස් නමැති තරුණයා යැයි පොලිසිය පසුව අනාවරණය කළේය. ඔහු පුවත් කාර්යාලයට කඩා වැදී වෙඩි තැබීම කළේ ෂොට්ගන් වර්ගයේ තුවක්කුවක් අතැතිවය.

පුවත් ආයතනය සමඟ ජැරොඞ් ඩබ්ලිව්. රමෝස්ගේ විරසකයක් තිබුණු බවත්, ඔහු නිරන්තරයෙන් පුවත් ආයතනයේ මාධ්‍යවේදීන්ට සහ කර්තෘවරයාට තර්ජනය කළ අයකු බවත් පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත. ජැරොඞ් ඩබ්ලිව්. රමෝස් ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට පොලිසිය සමත් විය.

ජැරොඞ් ඩබ්ලිව්. රමෝස් මාධ්‍ය ආයතනයට කඩා වැදී ඇත්තේ 28 සවස 2.43 ටය. මාධ්‍ය ආයතතනයට සන්නද්ධ පුද්ගලයකු කඩා වැදුණු බවත් ඔහු වෙඩි තබමින් කලහ කරන බවත් දන්වමින් එක් මාධ්‍යවේදිකයකු උදවු ඉල්ලා ට්විටර් පිණිවුඩයක් ප්‍රසිද්ධ කළේය.

ඒ අනුව, සන්නද්ධ විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ ‘කැපිටල් ගැසට්’ පුවත්පත් ආයතනය පිහිටි ගොඩනැගිල්ල වට කළේය. ජැරොඞ් ඩබ්ලිව්. රමෝස් ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට පොලිසිය සමත් විය.

(රොයිටර්)


RECOMMEND POSTS